කාලීන සංවාද
ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1
April 28, 2016 By editor 0
http://nelumyaya.com/?p=5693

introduction-to-business-research-methods-13-728-Nelumyaya
එදිනෙදා ජීවිතය තුල පැනනගින නානාවිධ සංවාදයන් තුල අප විසින් යම් යම් තර්කයන් (arguments) ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස, ඉදිරිපත් කරනු ලබන තර්කයන්ගෙන් ඇතැම් ඒවා “සාර්ථක” යැයි සැළකිය හැකි අතර තවත් ඒවා “අසාර්ථක තර්කයන්” වේ. ඇතැම් අවස්ථා වලදී, අප විසින් යම් යම් ප්‍රතිභානාත්මක අදහස් මත පදනම්ව සාර්ථක තර්කයන් හා අසාර්ථක තර්කයන් වෙන්කර හදුනාගනී. එසේවුවද, බොහෝ අවස්ථා වලදී අපට සාර්ථක තර්කයන්ගෙන් සාර්ථක නොවන තර්කයන් වෙන්කරගැනීම පිණිස අපගේ ප්‍රතිභානයන් යොදාගත නොහැකිය. ඒ වෙනුවට, අප විසින් කළ යුතු වන්නේ, සාර්ථක හා අසාර්ථක තර්ක එකිනෙකින් වෙන්කරන නිර්නායක මාලාවක් ස්ථාපනය කරගැනීමයි. තර්කශාස්ත්‍රය (logic) නම් විෂයපථයේ මූලික අභිප්‍රායක් වනුයේ ඉහතින් සදහන් කල නිර්නායක මාලාව ස්ථාපිත කිරීමයි.
ඕනෑම තර්කයක අරමුණ වනුයේ යම්කිසි ප්‍රස්තුථයක හෝ යම් ප්‍රස්තුථ කිහිපයක සත්‍යතාවය ගෙනහැර දැක්වීමයි – එනම් – යම් ප්‍රස්තුථයක් (හෝ ප්‍රස්තුථ කිහිපයක්) සත්‍ය බවට සනාථ කිරීම ඕනෑම තර්කයක අරමුණයි. මෙලෙස, යම් තර්කයකින් සත්‍ය යැයි කියාපෑමට බලාපොරොත්තු වන ප්‍රස්තුථ, නිගමනයන් (conclusions) ලෙස හදුන්වයි. මෙකී නිගමනයන් සනාථ කිරීම පිණිස ඉදිරිපත්කරන කරුණු තර්කාංග (premises) තුල අන්තර්ගත වේ. ඕනෑම තර්කයක් අසාර්ථක විය හැකි ආකාර දෙකකි. එනම්, එකී තර්කයේ අන්තර්ගතය නිවැරදි නොවීම හා තර්කයේ ව්‍යුහය නිවැරදි නොවීමයි. එමෙන්ම, ප්‍රධාන වශයෙන්ම අප අවධානය යොමුකළ යුතු තර්ක වර්ග දෙකක් ඇත. එනම්, උද්ගාමී තර්කයන් හා ආපෝහනයන්ය. ඕනෑම ආපෝහනයක මුඛ්‍ය අරමුණ වනුයේ නිගමනයේ සත්‍යතාවය සියයට සියයක සහතිකත්වයෙන් යුතුව ගෙනහැර දැක්වීමය. මෙම අරමුණ ඉටුකරගැනීම පිණිස, ඕනෑම ආපෝහනයක් විසින් සපුරාලිය යුතු කරුණු දෙකක් ඇත. ඉන් වඩා වැදගත් කරුණ වනුයේ, තර්කාංගයන් සත්‍ය නම් නිගමනයද සත්‍ය වන ලෙස ආපෝහනයයේ ව්‍යුහය සකස් කර තිබීමය. දෙවනුව, තර්කාංගයන් සත්‍ය වීමය. මෙකී කරුණු දෙකම සපුරාලන ආපෝහනයන් “සම්පූර්ණ ආපෝහනයන්” (sound deductive arguments) ලෙස හැදින්වේ. එමෙන්ම, තර්කාංගයන්ගේ සත්‍යතාවය මගින් නිගමනයේද සත්‍යතාවය සහතික කරන ආපෝහනයන් වනාහී වලංගු ආපෝහනයන්ය. එලෙසම, යම් ආපෝහනයක තර්කාංගයන්ගේ සත්‍යතාවය මගින් නිගමනය ගම්‍ය නොවන්නේ නම් එකී ආපෝහනය අවලංගු ආපෝහනයකි.
ආපෝහනයන් පිළිබදව කරන අධ්‍යනය “ආපෝහන න්‍යාය” (theory of deduction) ලෙස හැදින්වේ. මෙකී ආපෝහන න්‍යාය තුලින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ ඒ ඒ ආපෝහනයන්ගේ ව්‍යුහය පිළිබදවය. ව්‍යුහමය වෙනස්කම් මත පදනම්ව වලංගු ආපෝහනයන් අවලංගු ආපෝහනයන්ගෙන් වෙන්කර හදුනාගැනීමට අවශ්‍ය කරන නිර්නායක ඉදිරිපත්කිරීම ආපෝහන න්‍යාය නම් විෂයපථයේ අරමුණකි. මෙකී අභිප්‍රාය සාක්ෂ්‍යවත් කරගැනීම පිණිස ගොඩනැගුණු න්‍යාය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකි. එනම්, සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනය (classical Aristotelian logic) හා නූතන සංකේතමය තර්කනයයි (modern symbolic logic).
ඇරිස්ටෝටල් වනාහී පුරාතන ග්‍රීක සමාජයේ විසූ විද්වතෙකි. ඔහු විසින් මානව දැනුමේ සෑම ක්ෂේත්‍රයකටම සිය දායකත්වය සපයා ඇත. අප විසින් අද සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනය ලෙස හදුන්වන්නේ එකල ඇරිස්ටෝටල් විසින් තර්කශාස්ත්‍රය පිළිබදව ලියූ ග්‍රන්ථ සමූහයක (මෙම ග්‍රන්ථ සමූහය වර්තමානයේ Organon යනුවෙන් හදුන්වයි) අන්තර්ගතයයි. පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා ගතවූ කාලය තුල, මෙකී සම්භාව්‍ය තර්කනය නානාවිධ සුෂිශ්ටතාවයන්ට භාජනය වී ඇත. එහි අංකනය දියුණු වී ඇති අතර එහි මූලධර්මයන්ද සියුම්කරණයට ලක්ව ඇත. ඇරිස්ටෝටල් ප්‍රමුඛ වූ නානාප්‍රකාර තර්ක විශාරදයන් රැසකගේ මැදිහත්වීමෙන් ස්ථාපනය කරන ලද මෙකී න්‍යාය-පද්ධතිය වනාහී ඉතා බලසම්පන්න වූවක් වන අතර එය මානව සංහතියේ විශිෂ්ඨ බුද්ධිමය ජයග්‍රණයකි. ඉදිරි ලිපි වලින් අප මෙකී සම්භාව්‍ය ඇරිස්ටෝටලීය තර්කනයේ අන්තර්ගතය පිළිබදව සවිස්තරාත්මකව විශ්ලේෂණය කරමු.
ලිව්වේ – අසීයා මිතුරුසිංහ