ගෝඨාණ්ඩුවේ කටේ නරිවාදම, ණය ශ්රේණිගතකිරීම් වලින් රට පහල දැමීම සහ ගිලෙමින් තිබෙන ආර්ථිකය..!
ආනුභාවනන්දගේ විග්රහයක්
https://www.lankaenews.com/news/11611/si

Sri-Lanka-economy-is-shrinking-LeN-22.12.2020
(ලංකා ඊ නිව්ස් -2020.දෙසැ.22, ප.ව.1.05) මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලයේ දී ලෝකයේ ප්රධානතම ණය ශ්රේණිගතකිරීම් (Credit Rating) ආයතන තුනම ශ්රී ලංකාව සැළකිය යුතු අවධානම් (substantial risk) මට්ටමට පහත දැමීය. එය ආරම්භ වූයේ සැප්තැම්බරයේ දී මූඩීස් (Moody's) ශ්රී ලංකාව Caa1 ණය මට්ටමට පහත හෙළීමෙනි. නොවැම්බර් මාසයේදී ෆිච් රේටින්ස් (Fitch Ratings) CCC දක්වාත්, දෙසැම්බරයේ දී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor's) ශ්රී ලංකාව CCC+ දක්වා පහත දැමීය. මේ සෑම අවස්ථාවකදී ම රාජපක්ෂ ආණ්ඩුව කියාසිටියේ ණය ශ්රේණිගතකිරීම් ආයතනයන්ට වැරදී ඇති බව සහ එම ආයතනයන්ගේ තීරණ ශ්රී ලංකා ආර්ථිකයට බලපෑමක් නොකරන බවයි. අජිත් නිවාඩ් රාජ්ය ඇමතිවරයා මේ බව දිගින් දිගටම කියයි. එහෙත් එය රාජපක්ෂ ආණ්ඩුවේ තවත් එක් ප්රෝඩාවක් සහ මවාපෑමක් පමණි
ණය ශ්රේණිගතකිරීම් ආයතන මොනවා ද?
ණය ශ්රේණිගතකිරීම් ආයතන මෙන්ම එහි තීරණ අපට වැදගත් වන්නේ ඇයි යන්න පිළිබඳව ප්රථමයෙන් අවබෝධයක් ලබා ගනිමු. ලෝකයේ ප්රධාන ණය ශ්රේණිගතකිරීම් ආයතන තුනක් ඇත. මූඩීස් (Moody's), ෆිච් රේටින්ස් (Fitch Ratings) සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor's) හෙවත් කෙටියෙන් (S & P) යන ආයතන තුනයි. මේ ආයතන රටකට වැදගත් වන්නේ ජාත්යන්තර මූල්ය වෙළඳ පොළ හරහා ණය ගැනීම් සඳහා යොමුවීමේදී ය. ආණ්ඩුව එම ණය ගන්නේ මධ්යම හා දිගු කාලීන ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (lnternational Sovereign Bonds) නිකුත් කිරීම් හරහාය. ශ්රී ලංකා ආණ්ඩුව මේ ණය මූලික වශයෙන් ලබා ගන්නේ අයවැය සඳහා මුදල් සපයාගැනීම, කල් පිරෙන බැඳුම්කර ආපසු ගෙවීම සහ විදේශ විනිමය සංචිතය ගොඩනැගීම සඳහා ය. ශ්රී ලංකා ආණ්ඩුව ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළ සැනින් කිසිවෙකු ඒවා ක්ෂණික මිලදී නොගනියි.
ශ්රී ලංකා ආණ්ඩුවට එම ණය (බැඳුම්කර) නැවත ගෙවීමේ හැකියාව පිළිබඳව එම බැඳුම්කර මිලදී ගන්නා මූල්ය ආයතන හෙවත් ආණ්ඩුවට ණය ලබාදෙන්නන් සොයා බලයි. ණය ශ්රේණිගතකිරීම් ආයතන මැදිහත් වන්නේ මේ අවස්ථාවේ දී ය. ණය ශ්රේණිගත කිරීම යනු ණය ගැතියෙකුට තම ණය ආපසු ගෙවීමට සහ නියමිත වේලාවට පොලිය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව බාහිර පාර්ශවයක් විසින් ලබා දෙන තක්සේරුවකි. මේ තක්සේරුව ලබාදෙන්නේ ප්රධාන ණය ශ්රේණිගතකිරීම් ආයතන තුනයි. ආණ්ඩුවකට ණය ගැනීම සඳහා ජාත්යන්තර මූල්ය වෙළඳපොලවල බැඳුම්කර නිකුත් කිරීමට අවශ්ය වූ විට, ණය ගැනුම්කරු අවම වශයෙන් ජාත්යන්තර ශ්රේණිගත කිරීමේ ආයතන දෙකකින් ණය ශ්රේණිගත කිරීම් ලබා ගැනීම අනිවාර්ය වේ. එබැවින් ප්රධානතම ණය ශ්රේණිගතකිරීම් ආයතන තුන ලංකාව සම්බන්ධයෙන් ලබාදෙන ණය ශ්රේණිගත කිරීම් ඉතා වැදගත් ය. එම තීරණ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොකරන්නේ යැයි පැවසීම රාජපක්ෂ ආණ්ඩුවේ තවත් එක් ගජබිංලංකාරයකි.
ලංකාව සැළකියයුතු අවධානම් මට්ටමට පහත දැමීම..
පසුගිය මාස තුනක කාලයේදී ලෝකයේ ප්රධානතම ණය ශ්රේණිගතකිරීම් ආයතන තුනම ශ්රී ලංකාව සැළකියයුතු අවධානම් (substantial risk) මට්ටමට පහත දැමීමට බලපෑ ප්රධාන සාධක තුනක් ගෙන හැර දක්වා තිබේ.
ආණ්ඩුවේ දුර්වල අයවැය කාර්ය සාධනය (budgetary performance), විදේශ විනිමය අර්බුදය සහ අධික ණය බරයි.
ෆිච් රේටින්ස් පසුගිය නොවැම්බර් 27 වන දා ශ්රී ලංකාව ස්වෛරී ණය ශ්රේණිගත කිරීම “CCC” දක්වා පහත හෙලනු ලැබුවේ රටේ ණය මට්ටම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ඉක්මවා යන බවත් එය වැඩි වැඩියෙන් ණය පැහැර හැරීමේ අවදානමක් ඇති බවටත් අනතුරු අඟවමිනි. දළ දේශීය නිෂ්පාදිතයට රජයේ ණය අනුපාතය 2019 දී 86.8% සිට 2020 දී 100% දක්වා ඉහළ යනු ඇති අතර 2024 දී එය 116% දක්වා ඉහළ යනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
69 ලක්ෂයේ ජනාධිපතිවරණ ජයග්රහණය, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය සහ 20 වන ඒකාධිපති ව්යවස්ථා සංශෝධනය හරහා ස්ථාවර ආර්ථිකයක් සහ සීඝ්ර ආර්ථික සංවර්ධනයක් ඇති කර හැකි බවට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීහු සිහින මැවූහ. එම න්යාය ක්රියාත්මක වේ නම් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ණය ශ්රේණිගතකිරීම් ආයතන තුන ලංකාව සම්බන්ධයෙන් ලබාදෙන ණය ශ්රේණිගතකිරීම් ඉහළ දැමිය යුතුය. එහෙත් සිදුවූයේ අනෙකකි.
රටේ අනෙක් ක්ෂේත්ර මෙන්ම මූල්ය සහ ආර්ථික ක්ෂේත්රයේ ද ප්රජාතන්ත්රවාදී ක්රියාවලියක් දක්නට නොමැත. රටේ ආර්ථිකය ඒකාධිපති ලෙස හසුරුවන්නේ ජනාධිපති ආර්ථික උපදේශක පී.බී ජයසුන්දරයි. ඔහු මුදල් ඇමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය තුට්ටුවකට මායිම් නොකරයි. බන්දුල ගුණවර්ධන වැනි ඇමතිවරු දැන් ප්රසිද්ධියේ ම ඒ පිළිබඳ චෝදනා කරති. වසර 2002 දී මිලින්ද මොරගොඩ ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් පිහිටවු මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද අත්වී ඇති ඉරණම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්රජාතන්ත්ර විරෝධී ආර්ථික ප්රතිපත්ති සඳහා කදිම නිදසුනකි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිට වූයේ විදුලිය, ජලය සහ බලශක්ති යන අංශවල රාජ්ය ඒකාධිකාරය විසින් ගනු ලබන අසාධාරණ තීරණ වලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ය. විශේෂයෙන් අසාධාරණ මිල ඉහළ දැමීම් වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ය. මෙවර අයවැයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්රතිසංස්කරණය කිරීමට යෝජනා කර තිබිණ. එහෙත් ජනාධිපති ආර්ථික උපදේශක පී.බී ජයසුන්දර මැදිහත්වී එම ආයතනය අහෝසි කර දැමීය. එය ඔහුගේ තනි තීන්දුවක් වන අතර ඒ පිළිබඳ ව අදාළ අමාත්යාංශයන්හි ඇමැතිවරුන් ගෙන් පවා කිසිදු විමසීමක් කර නොමැත.
අයවැය යෝජනාවට වඩා ඉදිරියට ගොස් නියාමන කොමිසම අහෝසි කිරීමට ගත් තීරණ මගින් ලබාදෙන පණිවිඩය පැහැදිලිය. එනම් රජයේ ආර්ථික සහ මූල්ය යෝජනා ප්රතිපත්ති එහි වචනවලට වඩා වැඩි වටිනාකමක් නොමැති බවයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කළේ ද අපූරු ක්රමයකටය. ඒ අදාල කොමිෂන් සභාවේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙසට පී.බී ජයසුන්දර තර්ජය කිරීම මගිනි. මෙවැනි ඒකාධිපති මැදිහත් වීම් සහ ප්රතිපත්ති ණය ශ්රේණිගතකිරීම් ආයතනයන් හි තීරණයන්ට ද බලපායි.
රජයේ අයවැය යෝජනා සහ සුරංගනා කථා..
වසර 2021 අයවැය යෝජනා අධ්යයන කළ ෆිච් රේටින්ස් ආයතනය තම නිරීක්ෂණ ඉදිරිපත් කළේ ය. ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ අයවැය යෝජනා සුරංගනා කථාවලින් ඔබ්බට ගොස් නැති බවයි. ආදායම වැඩි කිරීම සහ වියදම් කපා හැරීම මගින් අයවැය හිඟය අඩු කිරීම සඳහා මෙන්ම අයවැය හිඟය සහ රාජ්ය ණය බර අඩුකිරීමට රජය කිසිදු විශ්වාසවන්ත වැඩ පිළිවෙක් ඉදිපත් කර නොමැති බව ෆිච් රේටින්ස් ආයතනය පෙන්වා දෙයි. 2021 දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9% ක් බව ආණ්ඩුව ප්රක්ෂේපණය කර ඇති අතර එය 2020 දී 7.9% ක් විය. එහෙත් ෆිච් ආයතනයේ ප්රක්ෂේපනයන්ට අනුව වසර 2021 සහ 2022 අයවැය හිඟය 11.5% කි. වසර 2021 ආණ්ඩුවේ ආදායම වසර 2019 ට වඩා සියයට 28 කින් ඉහළ නංවන බව මෙවර අයවැය හි සඳහන් කර ඇත. එහෙත් ෆිච් රේටින්ස් ආයතනය එම ප්රක්ෂේපන පිලිගන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැනින් මේ වසරේ ජනවාරියේ තමන්ට හිතවත් ව්යාපාරික ප්රජාවට ලබාදුන් විශාල බදු සහන මගින් ආණ්ඩුවේ ආදායම සැළකිය යුතු මට්ටමකින් පහත වැටෙන බව පෙන්වා දෙන එම ආයතනය විශේෂයෙන් ප්රාග්ධන වියදම් 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.6% සිට 2021 දී 6.1% දක්වා ඉහළ යෑම මගින් තත්ත්වය වඩාත් බැරෑරුම් කරන බව පවසයි. මේ සියල්ල ආණ්ඩුවේ අයවැය කාර්ය සාධනය පිළිබඳ පසුබැසීම්ය, දුර්වලතාය.
මෙරට ප්රධාන විදේශ විනිමය අර්බූදය වන්නේ එහි කෙටිකාලීන ගෙවීම් සපුරාලීමට ප්රමාණවත් විදේශ විනිමය ඉපැයීම් නොමැතිකමයි. කොරෝනා වසංගතය හේතුවෙන් ලක්ෂ ගණනක් ලාංකීය සංක්රමණික රැකියා අහිමිවූ අතර ඔවුන්ගෙන් මෙතෙක් ලැබුණු විදේශ විනිමය ද රටට අහිමි වී ඇත. අනෙක් පසින් ඇඟලුම් අංශයේ පසු බැසීම මේ අර්බූදය තීව්ර කර ඇත. 2020 නොවැම්බර් මස අවසානයේ දී විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 දක්වා පහත වැටී ඇත. එහෙත් ඉදිරි වසරේ දී රටේ ණය ආපසු ගෙවීමේ සඳහා පමණක් ඩොලර් බිලියන 5.9 ක් අවශ්යය.
අනෙක් පසින්, ලංකාව අද අධික ණය බරක සහ ණය අර්බූදයක සිරවී සිටියි. සරලව විග්රහ කරන්නේ නම් සිය ජාතික ආදායමට වඩා අප වාර්ෂිකව ණය ලබා ගනියි. වසර 2020 දී ජාතික ආදායම රුපියල් බිලියන 1558 කි. ලබාගත් ණය ප්රමාණය රුපියල් බිලියන 2830 කි. වසර 2021 දී ඇස්තමේන්තු ගත ආදායම බිලියන 2029 කි. ලබා ගැනීමට බලාපොරොත්තු වන ණය ප්රමාණය රුපියල් බිලියන 2900 කි.
ලංකා බැංකුව සහ ශ්රී ලංකා රක්ෂණ B සිට CCC දක්වා පහත දැමීම..
පසුගිය මාස තුනක කාලයේදී ලෝකයේ ප්රධානතම ණය ශ්රේණිගතකිරීම් ආයතන තුනම ශ්රී ලංකාව සැළකියයුතු අවධානම් මට්ටමට පහත දමන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික, මූල්ය සහ දේශපාලන ප්රතිපත්ති හේතුකරගෙන ය. ණය ශ්රේණිගතකිරීම් වලින් පහත දැමීමෙන් සිදුවන ප්රධාන බලපෑම වන්නේ ශ්රී ලංකා ආණ්ඩුවට ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු සඳහා ආයෝජකයින්ට වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවීම ය. එහෙත් ජාත්යන්තර මූල්ය වෙළෙඳ පොළ යථාර්ථය වන්නේ CCC මට්ටමට ඇදවැටුණු පසුව බැඳුම්කර සඳහා ආයෝජකයන් සොයා ගැනීම අතිශය දුෂ්කර වීමය. ණය යළි ගෙවීම් හැකියාව අවධානයකට ලක් වූ රටකට ණය දීමට ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නැත. එබැවින් ඉදිරියේ දී ජාත්යන්තර මූල්ය වෙළඳපොළන් ණය ලබා ගැනීමේ අවස්ථාව ආණ්ඩුවට අහිමිවෙයි.
දෙවනුව ශ්රී ලංකාව ණය ශ්රේණිගතකිරීම් වලින් පහත හෙළීම දේශීය ආයතනවලට ද බලපායි. දැනටමත් ෆිච් රේටින්ස් විසින් ලංකා බැංකුව සහ ශ්රී ලංකා රක්ෂණ B සිට CCC දක්වා පහත හෙලා ඇත. මේ ආයතනවලට ජාත්යන්තර මූල්ය වෙළෙඳ පොළින් ණය ලබා ගැනීමට අවශ්ය නම් දැන් වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇත. එමෙන්ම එම ආයතනයන්ට තිබූ ජාත්යන්තර පිලිගැනීම ද බිඳ වැටී ඇත. "ලංකා ඊ නිවුස්" හෙළි කළ අන්දමට ලංකා බැංකුවේ ණයවර ලිපි (Line of Credit) ජාත්යන්තර වෙළඳාමේ දී ප්රතික්ෂේප වන තත්ත්වයක් නිර්මාණය වී ඇත. ලංකා බැංකුව යනු ලංකාවේ ප්රධානතම රාජ්ය බැංකුව මෙන්ම ආණ්ඩුවට වැඩියෙන් ම ණය ලබා දී තිබෙන දේශීය මූල්ය ආයතනය වෙයි. ණය ශ්රේණිගත කිරීම් පහත හෙලීම් මගින් ආර්ථිකයට බලපෑම් නොමැති බවට ආණ්ඩුව සුපුරුදු බොරුව සමාජ ගත කළ ද යථාර්ථය එයට වඩා වෙනස් ය.
රුපියල් කෝටි 8880 ක එම්.සී.සී ප්රදානය අහිමි වීම..
ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අර්බූදය වඩාත් තීව්ර කරමින් රුපියල් කෝටි 8880 ක එම්.සී.සී ප්රදානය ශ්රී ලංකාවට දැන් නොලැබෙනු ඇත. ඇමරිකානු මිලෙනියම් චැලේන්ජ් සහයෝගීතාව (MCC) සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්ය ආධාර ප්රදානය කරනුයේ අදාල ප්රදාන මුදල ප්රජාතන්ත්රවාදී යුක්තිගරුක පාලනයක්, ආයෝජන වර්ධනය හා ආර්ථීක නිදහස ඇති කිරීම සඳහා වන ආයෝජනයක් වශයෙනි. ශ්රී ලංකාවට ලබාදීමට නියමිත වූ ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් නවීන රථවාහන කළමනාකරණ පද්ධතියක් වෙනුවෙන් ආයෝජන කිරීමට සැලසුම් කර තිබිණ. අනෙක් මුදල් ද සමාජ සුබසාධන වෙනුවෙන් යෙදවීමට නියමිත විය. නවීන රථවාහන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වූයේ කොළඹ නගරයේ සහ ඒ අවට ප්රදේශවල වාහන තදබදය අවම කිරීමේ අරමුණ සහිතව ය. ලංකාවේ ආර්ථික විද්යාඥයන් වරින්වර පෙන්වාදුන් අන්දමට කොළඹ සහ ඒ අවට ප්රදේශවල වාහන තදබදය හේතුව දිනකට රටට අහිමි වන ආදායම රුපියල් කෝටියකට අධිකය.
එහෙත් පසුගිය ජනාධිපතිවරණයට පෙර එම්.සී.සී ගිවිසුම විශාල බිල්ලෙක් වශයෙන් ගොඩනැගුවේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී පොහොට්ටු කඳවුරයි. ලංකාව දෙකඩ වන බවත් ශ්රී මහා බෝධියට යෑමට වීසා අවශ්ය වන බවට විශාල මිථ්යාවක් නිර්මාණය කළේ ය. සීතා අරඹේපොල වැනි "වියතුන්" ඇස් දෙක කරකවමින් ඇමරිකානු හමුදා ලංකාවට ගොඩ බැස ලාංකීය කාන්තාවන් දූෂණය කරන අන්දම විස්තර කළාය. ප්රකට බෞද්ධ භික්ෂුවක් ගිවිසුම කුමක්දැයි දන්නේ වත් නැතිව එම්.සී.සී ගිවිසුමට විරුද්ධව මාරාන්තික උපවාසයක් කළේය. 69 ලක්ෂයක් එම්.සී.සී "දේශද්රෝහී" ගිවිසුම ප්රතික්ෂේප කළහ. එබැවින් ඇමරිකාව ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්රදානය බලෙන් ලංකාවට දියයුතු නැත. එය ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් අයථා ලෙස භාවිතා කිරීමකි. ලංකාවට වෙන් කළ ප්රදානයන් සියෝරා ලියෝන් වෙත යොමු කිරීමට එම්.සී.සී ආයතනය තීරණය කළේ ය. එය විශිෂ්ට තීරණයකි. එම ප්රදානයන් ලබාදෙන්නේ ප්රජාතන්ත්රවාදී යුක්තිගරුක පාලනයක්, ආයෝජන වර්ධනය හා ආර්ථීක නිදහස ඇති කිරීම සඳහා වන ආයෝජනයක් වශයෙනි. එහෙත් ලංකාවේ එවැනි පරිසරයක් අද නොමැත. අද ක්රියාත්මක වන්නේ ඒකාධිපති ආර්ථික ප්රතිපත්තියකි. එබැවින් එම්.සී.සී ප්රදානයන් ලංකාවට හිමිවිය යුතු නැත.
අද ලංකාවේ ව්යාපාර කිරීමේ අවස්ථාව තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන හිතවතුන් කිහිපදෙනෙකුට පමණි. අද බිහිවී ඇත්තේ oligarchy ව්යාපාර කල්ලියකි. කොරෝනා වසංගත මර්දනය ගරානාවක් කර ගත්තේ මේ කණ්ඩායමයි. විදේශ රටවල සිට ලංකාවට පැමිණෙන ශ්රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් ප්රවේශ පත්රයේ සිට නිරෝධාන හෝටලය දක්වා ගසා කන්නේ මේ කණ්ඩායම යි. සීනි, පොල් තෙල් ආනයන වංචාවට සම්බන්ධ වන්නේ මේ ව්යාපාරික කල්ලියයි.
ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා ශ්රී ලංකාවේ ආර්ථීකයේ ස්වභාවය හෙළි කළේය. එනම් මේ වසරේ දෙවැනි කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂව සියයට -16.3 කින් පහතට වැටී තිබේ. එය සෘණ මට්ටමකි. මෙරට නිදහස ලැබීමෙන් පසු ගත වූ ඉතිහාසයේ කිසිදාක මෙවැනි මට්ටමකට පහත වැටී නැත. පාස්කු ප්රහාරයේ පිහිටෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුවට මර්දනය, රැවටීම, මිථ්යාව හැරුණු විට පැහැදිලි වැඩපිළිවෙළක් නැත. දිනෙන් දින සියළු ක්ෂේත්ර අර්බූදයට යනවා මිස ගොඩ යෑමක් දැකිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ රට සිංගප්පූරුවක් කරනු ඇතැයි සිතා පොහොට්ටුවට ඡන්දය භාවිතා කළ නාගරික සහ අර්ධ නාගරික මධ්යම පංතිය සහ ව්යාජ වියතුන් අද තක්කු මුක්කු වී සිටිති. ඔවුහු වැපුරූ දෑහි අස්වැන්න ලබා ගනිමින් සිටිති.
ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/33
---------------------------
by (2020-12-22 07:42:53)