AHFESL-FRANCE-NEWS-MEDIA-SINHALA-PAGE-ABOUT-TERRORISTS-ATTACK-IN-SRI LANKA-2019

 

 
AHFESL-FRANCE NEWS MEDIA SINHALA "LANKADEEPA" PAGE : ABOUT TERRORISTS ATTACK IN SRI LANKA
 

This Page Under Construction Please Wait (Veuillez patienter Cette page est sous Construction)

 

කටින්ජයගත්සහරාන්ඉස්ලාමීයරාජ්‍යයසොයාගියගමන

කුරුසියේ ඇණගසනු ලැබූ යේසුස් වහන්සේ මරණයෙන් නැගී සිටි (උත්ථානය සිදු වූ) පාස්කු ඉරිදා දිනය, කතෝලික සහ ප්‍රොතෙස්තන්ත යන දෙවර්ගයේම කිතුනුවන් විසින් සමරනු ලැබේ. එය කිතුනුවන් ප්‍රීතියෙන් සොම්නස් ගීතිකා ගායනා කරන දිනයකි.

“මරණය, තොපේ වේදනා දැන් කොහිද?

සුසානය, තොපේ ජය කොතැන ගියේද?

එතුමන් පණ ලබා ඇත

එතුමන් ජීවය ලබා ඇත

උත්ථානය වී ඇත”


Terrorist-SriLanka-Lankadeepa-photo-ChandanaFrenando-LKD-01.05.2019-O01
ඡායාරූපය - චන්දන ප්‍රනාන්දු

යයි ඔවුහු එදින ගීතිකා ගැයද්දී ඉරණම කුරිරු ලෙස ආපසු කැරකී ආවේය.

මේ වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදාව ශෝකී ඛේදාන්තයක් බවට පත්විය. පාස්කු ඉරිදා දිනයේ කොළඹ, මීගමුව සහ මඩකළපුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදුකළ මිනිස් සංහාරය හා විනාශය කිතුණුවන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම කම්පාවටත්, කැළඹිල්ලටත් අතිශය සංවේගයටත් හේතුවූයේය.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදාව ලෙයින් තෙත් කරමින් එකී බිහිසුණු අපරාධය කිරීමේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අන්තර්ජාතික ‘ජිහාඞ්’ නම් ඉස්ලාමීය සන්නද්ධ සංවිධානය බාරගෙන තිබේ.


Terrorist-SriLanka-Lankadeepa-photo-ChandanaFrenando-LKD-01.05.2019-O02

ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය කලින් හැඳින් වූයේIslamic State of Iraq and the Levant (ISIL) (ඉරාක සහ මධ්‍යධරණී ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය) නැතහොත් Islamic State of Iraq and Syria (ISIS) (ඉරාක සහ සිරියා ඉස්ලාමීය රාජ්‍යය) යනුවෙනි. මෙහි අරමුණ වූයේ ලෝ පුරා ඉස්ලාමීය බල ප්‍රදේශය ගොඩනැගීමයි. වෙනත් අයුරකින් කිවහොත් ඉස්ලාමීය රාජ්‍යය යනු අබුබකර් අල් බග්ඩාඞ් නම් නායක පදවිය දරන්නාගේ රාජ්‍යයයි.

වාර්තා වන අන්දමට එය ගොඩනඟන්නට උත්සහ ගන්නේ සිරියාව පදනම් කරගෙනයි. පසුගිය කාලයේ එක්සත් ජනපද සහාය හමුදා ඉදිරියේ ලැබූ පරාජයන් හේතු කොට ගෙන ඉස්ලාමීය රාජ්‍යය සටන්කාමීන් අල්ලාගත් ප්‍රදේශ ටිකෙන් ටික හැකිලී ගියේය.

මැදපෙරදිග යුදමය ආධිපත්‍යය ඉස්ලාමීය රාජ්‍යය සටන්කාමීන් විසින් ඇතිකරගන්නා අතරම ඔවුහු ලෝකය පුරා තවත් මට්ටමකින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ උපායකට ද යොමු වූහ. ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් අල්ලාගත් භූමි ප්‍රදේශ යුදමය පරාජයන් හේතුවෙන් කෙමෙන් අඩු වෙත්ම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තයෝ වෙනත් තැන්වලට එල්ල කරන ත්‍රස්තවාදී ප්‍රහාර තීව්ර ලෙස වැඩිකරන්නට පටන් ගත්හ. මෙයින් ඔවුන් පෙන්වන්නට උත්සාහ ගත්තේ පදවිය අහිමි කිරීමෙන් සංවිධානය කඩා බිඳ දැමිය නොහැකි බවත්, ඒ මගින් ගෝලීය මට්ටමේ දී තමන් මාරාවේශයට පත් වී ඇති බවත්ය.

ලෝකයේ අනෙක් ප්‍රදේශවල ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමීය රාජ්‍යය සටන්කාමීන් විසින් එක් එක් රටවල ඉස්ලාමීය සන්නද්ධ සංවිධාන උපයෝගී කර ගනුයේ තම සාහසික ක්‍රියාකාරකම්වල පැවැත්ම රැක ගනිමින් ඒවා පතුරවා හරින ඒජන්තයින් ලෙසයි. ශ්‍රී ලංකාව තුළ ද සිදුවූයේ යයි පෙනෙන්නේ එවැන්නකි.

ඡායාරූපය -හිරාන් ප්‍රියංකර

Terrorist-SriLanka-Lankadeepa-photo-HiranPriyankara-LKD-01.05.2019-O03

තරුපහේ හෝටල් තුනකත්. කතෝලික දේවස්ථාන දෙකකට සහ ප්‍රොතෙස්තන්ත එවැන්ජලිකල් දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පසු අවධානය යොමු වූයේ මඩකළපුවේ කාත්තන්කුඩියේ උග්‍ර මුස්ලිම් අන්තවාදී පූජකයකු වෙතයි. ඉන් පෙර ඉස්ලාමීය කවයෙන් පිටත අය ඔහු ගැන දැන සිටියේ යන්තමිනි. එසේ වුවද එම තැනැත්තාව, කාලයක පටන් බුද්ධිමය අංශවලටත් විමර්ශකයන්ටත් දකුණු ඉන්දියාවේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ සලාෆි ජිහාඞ්වාදයේ වර්ධනය පිළිබඳව අවධානයෙන් සිටි පුවත් පත් කලාවේදීන්ටත් අවශ්‍යව සිටි අයකු වී තිබිණ.

සලාෆි ජිහාඞ් වාදය සංක්‍රාන්තික ඉස්ලාමීය මතවාදයේ වහාබ් බලපෑම මත බිහිවූවකි. එය මූලධර්මවාදී ඉස්ලාම් ආගමට ආපසු හැරී අයුධ සන්නද්ධ අරගලය අදහන්නකි. මුස්ලිම් ආගමිකයන්ගේ වර්ගවාදී හැඟීම් අවුස්සාලමින් දේශනා පවත්වන්නට සමත් වූ මෙම දේශකයා කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක් පිහිට වූයේය. ස්වදේශීය මුස්ලිම් සංවිධානය සහ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය අතර සම්බන්ධතාව පවත්වා ගැනීමට මූලික වූ පුද්ගලයා ලෙස සැක කෙරුණේ මොහු ගැනය. පාස්කු ඉරිදා සාහසික ප්‍රහාරවලින් පසු මෙම සැකය තවදුරටත් තහවුරු වී තිබේ.

මොහොමඞ් සහ්රාන් මොහොමඞ් හෂීම්


Terrorist-SriLanka-Lankadeepa-photo-HiranPriyankara-LKD-01.05.2019-O04

පාස්කු ඉරිදා එල්ල වූ සාහසික ප්‍රහාරවලින් පසු සැමගේ අවධානය යොමු වූයේ 34 හැවිරිදි ආගමික හා දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වූ පූජකවරයෙකු වෙතයි. ඔහුගේ සම්පූර්ණ නම මොහොමඞ් සහ්රාන් මොහොමඞ් හෂීම් ය.

සාමාන්‍යයෙන් සහ්රාන් හසීම් නමින් හැඳින සිටි ඔහු ජාතික තව්හීඞ් ජමාත් නම් ඉස්ලාමීය සංවිධානයේ ආරම්භකයාය. ව්‍යක්ත කථිකයකු වූ සහ්රාන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලත් ඉන්දියාවේ තමිල්නාඩුවේත් ජාතික තව්හීඞ් ජමාත් අරමුණු සහ අභිප්‍රායන් ප්‍රචලිත කළේය.

මතුපිටින් පෙනී යන්නේ සහ්රාන් හසීම් ජාතික තව්හීඞ් ජමාත් නිකායෙන් බිඳී 2018 දී ‘තව්හීත් ජමාත් ජාතිය’ නම් අනුගාමිකයන් සහිත අළුත් අන්තවාදී කල්ලියක් ගොඩනඟා තිබෙන බවයි. මේ ගැන මැනවින් දත් මුලාශ්‍රවලට අනුව මෙම කල්ලියට ශ්‍රී ලංකාව තුළත් ඉන්දියාවේදීත් නායකත්වය දී ඇත්තේත් පාස්කු ඉරිදා ශ්‍රී ලංකා ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍යය සහයෝගය ඇතිව මෙහෙයවා ඇත්තේත් සහ්රාන් විසිනි. ජාතික තව්හීඞ් ජමාත් සංවිධානයෙන් බිඳී අවුත් සහ්රාන් නව සංවිධානය ගොඩනගා ඇත්තේ ත්‍රස්ත ක්‍රියාවල නියැලීමේ මූලික අරමුණ ඇතිවයි.

තව්හීඞ් ජමාත් වෙතින් මිනිස් බලය සපයද්දී ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය වෙතින් අධිබල පුපුරවා හැරීම්වලට අවශ්‍ය විශේෂඥ තාක්ෂණික දැනුම සපයා තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ භීතියත් කම්පනයත් ඇතිකොට සමස්ත ලෝකයටම එය දැනෙන පරිදි හොඳින් සම්බන්ධීකරණය වී මෙම ප්‍රහාරය සැලසුම් කොට ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යය උපායමාර්ගික සැලසුම්කරුවන්ගේ සූක්ෂම දැනුමත් හවුල්කරගෙන බව පෙනී යයි.

ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සහ ජාතික තව්හීඞ් ජමාත් සංවිධානය අතර මාරාන්තික සම්බන්ධතා යා කෙරෙන කඩ ඇණය සහ්රාන් හසීම් වෙතැයි විශ්වාස කෙරේ. එයින් නොනැවතුනු සහ්රාන් ‘අබු උබයිදා’ යන නම ආරූඪ කරගෙන තමා ද සහභාගී වෙමින් ප්‍රහාරය දියත් කළ බව පෙනී යයි.

ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘අබු උබයිදා’ හෙවත් සහ්රාන් හෂීම් බවට සැක කෙරේ. ඇතැම් අයගේ අදහස වන්නේ සහ්රාන් කල්ලි නායකයා බැවින්, එක් ප්‍රහාරයකින් මිය යනවාට වඩා, ජීවත් වෙමින් තව ප්‍රහාර එල්ල කිරීමේ විකල්පය ඔහු තෝරා ගනීවි යන්නය.

තම දෙමාපියන් සහ සොහොයුරු සොයුරියන් කැටුව ඔහු 18 දා පටන් අතුරුදන් වී සිටීම තවත් කාරණයකි. තම පවුලේ සාමාජිකයන්ට පූර්ව ආරක්ෂාව සැලසීම සඳහා ඔහු පිටතට ව්‍යාජයක් පෙන්වන්නේ ද යන්න ද සැක සහිතය. යහපත් වාතාවරණයක් සැකසුණු විට නැවත පවුලේ සාමාජිකයන් ඒකරාශී කිරීමේ චේතනාවෙන් ඔහු එසේ කරනවා විය හැකියි. ඒ ගැන මේ අවස්ථාවේ නිශ්චිතව යමක් කිව නොහැකිය.

ඡායාරූපය -හිරාන් ප්‍රියංකර

Terrorist-SriLanka-Lankadeepa-photo-HiranPriyankara-LKD-01.05.2019-O05

අබු උබයිදා නම් මිනීමරු ත්‍රස්තයා

කෙසේ වුවද මූලික ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙන් බිහි වූ ඉස්ලාම් මූලධාර්මික පූජකවරයකු ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සමග ඒකාබද්ධවී දේවස්ථානවල යාඥාවේ යෙදුණු අහිංසක පුරවැසියන්ට සහ සුඛෝපභෝගී හෝටල්වල, පාස්කු ඉරිදා උදය ආහාරය ගනිමින් සිටි එවැනිම අහිංසක සංචාරකයින්ට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් දියත් කරන්නට යොමු වූයේ ඇයි ද යන්නය.

මේ අවස්ථාවේ දී ඒ සඳහා පහසුවෙන් පිළිතුරු දිය නොහැක්කේය. මෙම ලිපියෙන් කරන්නට උත්සාහ ගන්නේ සහ්රාන් හෂීම් ගේ ජීවිතය පිළිබඳ තතු අවුස්සා බලා සාමකාමී ආගමික ක්‍රියාධරයකු අබු උබයිදා නම් මිනීමරු ත්‍රස්තයකු බවට පරිවර්තනය වන්නට හේතුව සොයා බැලීමයි. ඊට අදාළ කතාවේ තැන් තැන්වල විසුරුණු කොටස් එකට එක්කොට මෙම තතු විමසා බැලිය යුතුවේ.

මොහොමඞ් සහ්රාන් මොහොමඞ් හෂීම් කාත්තන්කුඩි නම් වෙරළබඩ මුස්ලිම් ගම්මානයේ උපත ලබන්නේ 1985 දීය. කාත්තන්කුඩි යන්න දෙමළ බසින් උච්චාරණය කරනුයේ කාත්තාන්කූඩි යනුවෙනි. එය පිහිටා ඇත්තේ කොළඹ සිට සැතපුම් 211 දුරින් වූ එෂුවාන්කරායි නම් වෙරළබඩ ප්‍රදේශයේය. එෂුවාන්කරායි යන්නෙහි තේරුම හිරු නැගෙන වෙරළ යන්නයි.

මඩකළපු කළපුවත් බෙංගාල බොක්කත් අතර එය පිහිටා තිබේ. එය වර්ග කිලෝ මීටර් 2.56 කින් සහ කිලෝ මීටර් 1.33කින් දිග පළලකින් යුතුව, රට තුළට විහිදුනු කළපුව සමීපයේ බිම්කඩකි. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වය ඇත්තේ ද එහිය. එම නගරය තුළ වර්ග කිලෝ මීටරයක් තුළ වාසය කරන ජන සංඛ්‍යාව 6,726 කි. 2014 සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන පරිදි කාත්තන්කුඩියේ නගර සභා බලප්‍රදේශයේ ජනගහනය 47,603 කි.

අතිශය ජන ඝනත්වයක් ඇති කාත්තන්කුඩිය නැගෙනහිර පිහිටි වඩාත් සමෘද්ධිමත් මුස්ලිම් නගරයයි. මඩකළපු දිස්ත්‍රික්කයේ වඩාත්ම කාර්යබහුල වෙළෙඳ මධ්‍යස්ථානය කාත්තන්කුඩියයි කියනු ලැබේ.

1930 ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය පිහිටවූයේ කාත්තන්කුඩිවලයි. ඒ මගින් වඩාත් ප්‍රශංසනීය අධ්‍යාපන සම්ප්‍රදායකට මගපෑදිනි. බොහෝ ගුරුවරු, නීතිඥවරු, ගණකාධිකාරිවරු, ඉංජිනේරුවෝ, බුද්ධිමතුන් සහ රාජ්‍යතාන්ත්‍රිකයේ කාත්තන්කුඩියෙන් බිහි වූවෝය. ඊට අමතර කාත්තන්කුඩි වාසීන් ව්‍යවසාය නිපුණතාවලටත් ව්‍යාපාරික කටයුතුවලටත් නම ගිය උදවියයි. නැගෙනහිර පළාතේ ස්ථාපිත මුස්ලිම් වාණිජ ආයතනවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් වෙළෙඳ ආයතනවල හිමිකරුවන් වන්නේ කාත්තන්කුඩිය වැසියන්ය. එහි ඇඟලුම් කර්මාන්තය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. කාත්තන්කුඩිය සාරිවලටත් සරම්වලටත් ප්‍රසිද්ධය.

වහාබ් මතවාදය සහ මුස්ලිම් පල්ලි වෙත බලපෑම

මෑත කාලයේ කාත්තන්කුඩි වැසියෝ මැදපෙරදිග රැකියා සොයා ගියහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එහි වහාබ් වර්ගයේ ඉස්ලාමික මත වර්ධනය වූයේය.

ඡායාරූපය - චන්දන ප්‍රනාන්දු


Terrorist-SriLanka-Lankadeepa-photo-HiranPriyankara-LKD-01.05.2019-O06

වහාබ් වාදය සවුදි අරාබියේ නිර්මාණය වූ චිරාගත ඉස්ලාම් නිකායකි. වහාබ් වාදය යනු ඉස්ලාම් දහමේ අන්තගාමී සම්ප්‍රදායික ප්‍රවණතාවයකි. අතීත මුග්ධ මත වැළඳගන්නා එය ඉස්ලාමයේ පළමු සියවස් තුනෙන් මෙහා ඊට එකතු වූ සියලු නව අදහස් ප්‍රතික්‍ෂේප කරයි. නිර්මල ඉස්ලාම් පැවතුම් සොයමින් යුහුසුළු වන එය ඒක දේවවාදී මත අදහමින් අනෙකුත් සම්ප්‍රදායික නොවන මත සියල්ල ප්‍රතික්‍ෂේප කරයි.

අද දවසේ කාත්තන්කුඩිය, කළු ලෝගු පොරවාගත් ගැහැණුන්ගෙන් ද ගොරහැඩි රැවුල වවාගත් පිරිමින්ගෙන් ද සමන්විත නවීන නගරයකි. නාගරික පරිශ්‍රය තුළ රටඉඳි ගස් වවා ඇති එහි බොහෝ නාම පුවරුවල අරාබි අකුරු සහිත වදන් දිස්වේ. ලියාපදිංචි කළ හා නොකළ මුස්ලිම් පල්ලි 60 කට වඩා කාත්තන්කුඩියේ ඇත. ඒවායින් අතළොස්සක් හැරුණු විට අනෙක්වා සියල්ල වහාබ් මතවාදයේ පිළිවෙත් අදහති.

1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලිවල යාඥා කරමින් සිටි වැසියන් කොටි ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අයුරු ද මෙහිදී සිහිපත් වේ. මුස්ලිම් පල්ලි 4 කට එසේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූ අතර 147 දෙනෙක් එහිදී මිය ගියහ. 2004 සුනාමියට ද කාත්තන්කුඩිය දරුණු ලෙසම අසුවූයේය. 108 දෙනෙක් සුනාමියෙන් මියගිය අතර 93 දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා විය. වාසස්ථාන 2,000ක් පමණ විනාශ වී හෝ හානි විය.

හයාත් මොහොමඞ්ට සහ සමීනා හෂීම්ට දාව සහ්රාන් හෂීම් 1985 උපත ලැබුවේය. ඔහුගේ පවුලේ අය පදිංචිව සිටියේ නගරයේ ‘වෝඞ් 3’ කොටසේය. දරුවන් 5 දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ඔහුය. සහ්රාන්ට සෙයින් සහ රිල්වාන් යනුවෙන් සහෝදරයෝ දෙදෙනෙකි. බාල සහෝදරියෝ දෙදෙනෙකි. මදනියා සහ යසීරා එම පවුලේ බාලයන්ගේ නම් ය.

සහ්රාන්ගේ සොයුරු සොයුරියන් සියලු දෙනා විවාහ වී ඇති අතර ඔවුන් සියලු දෙනාට දරුවන් ඇත. සහ්රාන් හෂීම් විවාහ වූයේ 2010 දීය. ඔහුගේ භාර්යාව වූ හාදියාගේ උපන්ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, කැකුණගොල්ලයි. විවාහ වෙද්දී ඇය කැකුණගොල්ල ජාතික පාසලේ ශිෂ්‍යාවකව සිටියාය. ඔවුනට වයස අටේ පිරිමි දරුවෙක් ද වයස හතරේ ගැහැණු දරුවෙක් ද වෙති.

ජමියාතුල් අල්- ෆලාහ් මද්රසා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය දක්වා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කාත්තන්කුඩියේ රජයේ පාසලෙන් ලද සහ්රාන්, 2001 දී කාත්තන්කුඩියේ ‘වෝඞ් 4’ හි පිහිටි පිහිටි ජමියාතුල් අල්- ෆලාහ් මද්රසා දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූයේය. ඉතා බුද්ධිමත් ශිෂ්‍යයකු වුව ද ඔහු සිය මුරණ්ඩු, විපරීත මත නිසා ඉක්මනින්ම ගුරුවරුන් හා උරණ වූයේය. තරුණ සහ්රාන් ඉතා දක්‍ෂ ලෙස අරාබි බස කතා කරන්නට උගත්තේය. ඔහු ඉක්මනින්ම මූලධර්මික ඉස්ලාමීය තව්හීඞ් වාදයට ඇදී ගියේය. ඉස්ලාමීය ඒකදේව වාදයේ අදෘශ්‍යමාන ඒකත්වය යන සංකල්පය තුළ ඔහු සිරවූයේය.

සහ්රාන් හෂීම්, මද්රසා පාසලේදී අතිශය හිතුවක්කාර අන්දමින් හැසිරෙමින් තම ගුරුවරුන් සමග නිතර වාදයේ පැටලුනේය. නීතිරීතිවලට සහ චර්යාවන්ට අනුගතවීම ද ඔහු ප්‍රතික්‍ෂේප කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 දී ඔහුව අල්- ෆලාහ් මද්රසා පාසලෙන් නෙරපනු ලැබුවේය. ඔහු තම අධ්‍යයන පාඨමාලාව සම්පූර්ණ කළේ නම් මෞලවිවරයකු හෝ ආගමික ගුරුවරයකු වන්නට ඉඩ තිබිණි. එසේ නොකළ නිසා එවැනි තත්ත්වයක් දැරීම නිල වශයෙන් ඔහුට තහනම් විය. පසුකාලීනව ඔහුගේ අනුගාමිකයන් බොහෝ දෙනෙකු ඔහුව ඇමතුවේ සහ්රාන් මෞලවී යනුවෙනි. එම ඇමතුම නිවැරදි කරන්නට හෂීම් උත්සාහ ගත් සෙයක් නොපෙනේ.

මද්රසා පාසලෙන් නෙරපූ පසු සහ්රාන් හෂීම් ශ්‍රී ලංකා තවුහීඞ් ජමාත් වෙත බැඳුණේය. තවුහීඞ් දෙවියන් සමග ඒකාග්‍රවීම පිළිගනු ලබයි. ඉස්ලාමීය ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයේ තවුහීඞ් යන්න අර්ථ දක්වා ඇත්තේ පහත සඳහන් පරිදිය.
“තවුහීඞ් යන්නෙන් ඉස්ලාමීය දේව ධර්මය යන්න අදහස් වේ. එයින් ඒකදේව වාදය ප්‍රකාශිත වන අතර විශ්වයේ මැවුම්කරුවාණන් ලෙසත් විශ්වය පවත්වා ගැනීමේදීත් එකම සර්ව බලධාරියා වන්නේ දෙවියන්ය. මෙය මානව සමාජ සංවිධානය උදෙසා ඉස්ලාමීය ප්‍රතිසංස්කරණවාදීන් සහ ක්‍රියාකාරීන් මුලධර්මයක් ලෙස උපයෝගී කර ගනිති. ආගමික චින්තනය මත පිහිටා ඉතිහාසය. සෞන්දර්ය විද්‍යාව, මනස පිළිබඳ දර්ශනය, මෙන්ම සමාජ, ආර්ථික සහ ලෝකයේ පැවැත්ම ද විග්‍රහ කරනු ලැබේ.”

ජමාත් යන්නෙන් ආගමික සභාව හෝ පර්ෂදය යන්න අදහස් වේ. එය අරාබි වදනකි.

තමිල්නාඩු තවුහීඞ් ජමාත් (TNJ)

තමන් තවුහීඞ් ජමාත් ලෙස හඳුන්වා ගන්නා විවිධ සංවිධාන ඉන්දියාවේත්, ශ්‍රී ලංකාවේත් තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු තවුහීඞ් ජමාත් සංවිධානය ශ්‍රී ලංකාවේ ඊට අනුරූප ශ්‍රී ලාංකීය තවුහිඞ් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතා පවත්වා ගනී. ශ්‍රී ලාංකීය තවුහීඞ් ජමාත් සංවිධානයේ (SLTJ) සමහර සාමාජිකයෝ එය තමිල්නාඩු තව්හීඞ් ජමාත් සංවිධානය කෙරේ දක්වන යටහත් පහත් බව තේරුම් ගෙන එයින් කැඩී ලංකා තව්හීඞ් ජමාත් (CTJ) යනුවෙන් සංවිධානයක් පිහිටුවා ගත්හ.

මද්රසා අධ්‍යාපනය හිටිහැටියේ නැවතුනු පසු සහ්රාන් හෂීම් මුලින්ම ශ්‍රී ලංකා තව්හීඞ් ජමාත් සංවිධානය සමග කාත්තන්කුඩියේ කටයුතු කළේය. එහෙත් සහ්රාන් තමාගේ අතිධාවනකාරී මත නිසා ඉක්මනින්ම ගැටුම් ඇතිකර ගත්තේය. ඉන්පසු ඔහු විසින් ඔහුගේම අලුත් සංවිධානයක් ජාතික තව්හීඞ් ජමාත් (NTJ)යන නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. ශ්‍රී ලංකාවේ SLTJ හෝ CNT හට සහ්රාන් හෂීම්ගේ NTJ සමග හවුලක් තිබුණේ නැත. එසේ වුවද අරමුදල් මදි වූ විට ලෑලිවලින් සාදා ගත් යාඥා මධ්‍යස්ථානයක් කාත්තන්කුඩියේ පිහිටුවා වැඩට බැස්සේය.

හෂීම් දෙමළ බසත් අරාබි බසත් හොඳින් කතා කරන චතුර කථිකයෙක් විය. තම මතය අනුන්ට බලෙන් කාවද්දන්නට ඔහු සමතෙකි. ඉක්මනින්ම සහ්රාන් හෂීම් කාත්තන්කුඩියේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් බැතිමත්හු ඔහුට ආගමික දේශනා පවත්වන්නට ආරාධනා කළහ. සහ්රාන් හෂීම් ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මුස්ලිම් ආගමික සභාවල දේශනා පවත්වමින් සංචාරය කළේය. ඔහුට තම බිරිඳ හාඩියා හමු වන්නේ කැකුණගොල්ල ප්‍රදේශයේ එවැනි සංචාරයක නිරත වී සිටියදීය.

ජාතික තව්හීඞ් ජමාත් මුස්ලිම් පල්ලිය

සහ්රාන් හසීම්ගේ අතිධාවනකාරී අන්තවාදී මත රැගත් චතුර කථිකත්වයෙන් යුතුව කළ දේශනා විසින් කාන්දමක් මෙන් තරුණ තරුණියන්ව ඇද ගත්තේය. ඔහු NTJ වෙනුවෙන් දෙමළ වෙබ් අඩවියක් අරඹා තම මත ප්‍රචලිත කළේය. එයින් තමිල්නාඩු වාසී ගල්ෆ් රටවල සේවය කරන අය ද ඔහු තමාගේ මතයට ඇද ගත්තේය.

පසුව ඔහු එහිම මුහුණු පොතේ පිටුවක් ආරම්භ කොට පවත්වාගෙන ගියේය. එවිට ඉක්මනින් ඔහුට ආධාර එකතු වූයේය. දැන් කාත්තන්කුඩියේ ‘වෝඞ් 3’ හි පිහිටි NTJ මුස්ලිම් පල්ලිය නවීන ගොඩනැගිල්ලකි. සහ්රාන්ගේ දේශනා අහන්නට ඉමහත් කැමැත්තෙන් සෙනග ආවද ඔහුගේ NTJ මුස්ලිම් පල්ලියේ යාඥාවලට වැඩි සෙනගක් ආවේ නැත. එම පල්ලියම තාරුල් අතාර් අතාවියා නමින් ද හඳුන්වනු ලැබුවේය. එසේ නොආවේ කාත්තන්කුඩියේ විවිධ මුස්ලිම් පල්ලි බොහෝ තිබුණු නිසා විය හැකියි.

ඉහත කී ලෙස පල්ලියෙන් පිට ඔහුගේ දේශනා අහන්නට විශාල පිරිසක් ආහ. ඇතැම් විට නගරයේ තැනින් තැන අහඹු ලෙස ඔහු රැස්වීම් පැවැත්වූයේය. කයිරෝවේ අල් අසාර් විශ්වවිද්‍යාලයෙන් පැමිණි දෙමළ බස කතා කරන මුස්ලිම් විද්වතකු සමග සහ්රාන් ප්‍රසිද්ධියේ කළ වාදයක් නිසා ඔහුගේ ජනප්‍රියත්වය හිටි හැටියේම වැඩි වෙන්නට ගත්තේය.

කාත්තන්කුඩියේ අලියාර් හන්දියේ පැවති එම විවාදය සවස 03.00 පටන් ගෙන රාත්‍රී 1.00 වන තුරා පැය 10ක් පුරා පැවතියේය. එම විද්වතා හොඳ දැනුමක් ඇත්කු වුවද ඔහු දෙමළ බස හැසිර වීමට එතරම් සමතෙක් නොවූයේය. වඩාත් දැනුම ඇති ප්‍රතිවාදියාව සහ්රාන් කටින් ගසා ජය ගත්තේය. හිටි හැටියේ කටට එන හොඳ කියුම් කියන්නට විද්වතාට නොහැකි විය. ඒ හැකියාව සහ්රාන් හට තිබුණු නිසා සහ්රාන් ඔහුට වාග් ප්‍රහාර එල්ල කළේය. එවේලේ 3000 කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සහ්රාන්ට ඉතා උද්යෝගයෙන් ඔල්වර හඬ නැගුවෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකත්වය ගන්නා පිරිස හිටි හැටියේ වැඩි වූයේය.

රට වටා යමින් ද සහ්රාන් තමාගේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත සාමාජිකයන් බඳවා ගත්තේය. එක් කාලයක් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගත් පිරිස 600 දක්වාත් අර්ධ සාමාජිකත්වය ගත් පිරිස 4500 දක්වාත් වැඩි වී තිබිණි. ඔහු තමිල්නාඩුවේත් මාලදිවයිනේත් මැද පෙරදිග රටවලත් රැස්වීම් පැවැත්වූයේය.

මැද පෙරදිග රටවලට ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් රැකියා සඳහා ගිය පිරිස් ඒවාට සවන් දෙන්නට ආවෝය. මේ ආකාරයට ජාතික තව්හීත් ජමාත් සංවිධානය බලයෙන් හා ශක්තියෙන් වර්ධනය වූයේය. මේ දක්වා ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් මුස්ලිම් සමාජයට පිටින් ඉන්නා ජනයා ඔහුව හඳුනා ගත්තේ නැත.

කෙසේ වුවද ප්‍රධාන ධාරාවේ මුස්ලිම් සංවිධානවලට සහ්රාන් මහත් හිරදයක් විය. අතිධාවනකාරී අන්තවාදය දේශනා කරමින් යන ඔහුගේ ජනප්‍රියත්වයට ඔවුහු කැමති නොවූහ.

කාලිෆ්වරයාගේ බල ප්‍රදේශය හෙවත් ඉස්ලාමීය රාජ්‍යය තැනීම.

ජාතික තව්හීත් ජමාත් වැදගත් සංවිධානයක් ලෙස වර්ධනය වන්නට ගනිද්දිම සහ්රාන්ගේ දේශපාලන සිතුවිලි වඩ වඩාත් අන්තවාදයට ඇදී ගියේය. ඔහු විවෘතවම අයිසිස් සංවිධානය වෙත තම හිතවාදී බව පවත්වා ගත්තේය. මෙහි හැරවුම් ලක්ෂය වූයේ 2014 ජුනි මාසයේ දී අයිසිස් සංවිධානය තම නාමය ෂී හෙවත් ‘ඉස්ලාම් රාජ්‍යය’ ලෙස නැවත හඳුන්වා දුන් පසුවය.

සියලු රට රටවල් අතර දේශසීමා මකා දමා ලෝ පුරා බිලියන 1.5 ක් වූ මුස්ලිම් ජනකායකගේ තනි සුපිරි නායකයා ලෙස අබු බකර් අල් බග්ඩාඞ් පත් කර ගැනීමේ අවශ්‍යතාව එයින් ප්‍රකාශයට පත් වූයේය. ඉන්පසු දෙමළ භාෂාවෙන් එම වාදය ප්‍රචාරය කරන්නකු බවට සහ්රාන් පත් වූයේය. ඉස්ලාම් රාජ්‍යය සටන් පෙරමුණ පිළිබඳව දෙමළ බසින් ඔහු ප්‍රවෘත්ති පළ කළේය. ඊට සහයෝගය දෙන අදහස දැරු ලිපි ලීවේය. ඇතැම් මුස්ලිම් කවවල ඉස්ලාම් රාජ්‍යයේ හඬ ලෙස සහ්රාන් හසීම් සැලකුණේය.

ඡායාරූපය - ඉෂාන් සංජීව


Terrorist-SriLanka-Lankadeepa-photo-Isan-Sanjeewa-LKD-01.05.2019-O07


ඔහු ඉදිරියේ සෑම දේම තෘප්තිමත්ව සිදු වන්නා සේ පෙනුන ද තමා ගැන පමණට වඩා තක්සේරු කළ නිසා සහ්රාන් හසීිම් අමාරුවේ වැටුණේය. කාත්තන්කුඩියේ වහාබ් බලපෑම ඇති මුස්ලිම්වරුන් වන අලියාර් හන්දියේ බදුරියා පල්ලියේ (වෝඞ්-6 පෙදෙසේදී) අනුගාමිකයන්ගේ පිළිකුලට ඔහු භාජනය වූයේය. එසේ වූයේ බදුරියා පල්ලියේ අනුගාමිකයන් වඩාත් ගූඪවාදී ඉස්ලාම් ධර්මයක් වූ සුෆී වාදය ඇදහීමයි. එම පිළිවෙත් අතර සාන්තුවරයන් වන්දනා කිරීමත් සොහොන් වන්දනාවේ නියැලීමත් වේ. වහාබ්වරු මෙය මිත්‍යාදෘෂ්ඨියක් සහ ආගමට අවමාන කිරීමක් ලෙස සලකති.

බදුරියා පල්ලියේ අයට යස පාඩමක් ඉගැන්වීම සඳහා, එම පල්ලියේ සමීපයේම වූ අලියාර් හන්දියේ සහ්රාන් හසීම් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ රැස්වීමක් සංවිධානය කළේය. 2017 මාර්තු 18 වැනිදා මෙම රැස්වීම ඇරඹු වේලාවේ පටන් කථිකයෙකුගෙන් පසු කථිකයෙක් බදුරියා පල්ලියට අපහාස වන සේ කතා පැවැත්වූහ. මෙහි අරමුණ වූයේ බදුරියා පල්ලියේ බැතිමතුන් ප්‍රකෝප කරවීමයි. සහ්රාන් හසීම් මේ අතර කඩු පොලු ආදිය වේදිකාව පසු පස සඟවා ගෙන සිටියේය. කතාවලින් කුපිත වූ බදුරියා පල්ලියේ බැතිමත්හු වේදිකාවට ගල් ගැසුවෝය. මෙහිදී සහ්රාන් තම අනුගාමිකයන් කැටුව තම විරුද්ධවාදීන්ට කඩු මුගුරුවලින් පහර දුන්නේය.

මෙම ගැටුමෙන් දෙපැත්තේම අය තුවාල ලැබුවෝය. බරපතළ ලෙස තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කරන ලදී.
ආගමේ නාමයෙන් කළ සාහසික ක්‍රියා නිසා කාත්තන්කුඩි වැසියෝ උරණ වූහ. බදුරියා පල්ලියේ කළමනාකරණය විසින් කාත්තන්කුඩියේ ඉස්ලාමීය කෞතුකාගාරය ඉදිරිපිට සංවිධානය කරන ලද විරෝධතාවට බොහෝ සෙනග ආහ. ක්‍රියාමාර්ග ගත යුතු බවට පොලිසියට හැම අතින්ම පීඩනය එල්ල විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතික තව්හීත් ජමාත් පල්ලියේ අනුගාමිකයන් 9 දෙනෙකුත් බදුරියා පල්ලියේ දෙදෙනකුත් අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් රඳවා තැබුණේය. අත්අඩංගුවට ගත් අය අතර සහ්රාන් ගේ සහෝදරයා වූ සෙයින් ද සිටියේය. සහ්රාන් පොලිසියට අවශ්‍ය අයකු බවට පත් විය. ඔහු පොලිසියෙන් කට්ටි පනිමින් සැඟවුණේය. හසීම් මාලදිවයිනට ගොස් ඇතැයි කාන්තන්කුඩියේ කතාවක් පැතිරුණේය.

තමිල්නාඩුව සහ කේරළය

සහ්රාන් හසීම් කාන්තන්කුඩිය හැර දා වයඹ පළාතේ තම බිරිඳගේ ගම් ප්‍රදේශයට පැමිණියේය. ටික කලක් ශ්‍රී ලංකාවේ ගත කිරීමෙන් පසුව ඔහු ඉන්දියාවට ගොස් තමිල්නාඩු සහ කේරළ යන දකුණු ඉන්දීය ප්‍රාන්තවල මුස්ලිම් අන්තවාදීන් සමග ක්‍රියාකාරකම් ආරම්භ කළේය.

එක තැන වැඩි කාලයක් නොසිටි ඔහු තැනින් තැනට ගියේය. බොහෝවිට ඔහුගේ තාවකාලික නවාතැන් වූයේ කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ කොයිම්බතූර්, ටි්‍රචි, තිරුනෙල්වෙලි, වෙල්ලෝර්, නාගපට්ටිනම් යන ප්‍රදේශවලය.


Terrorist-SriLanka-Lankadeepa-photo-Isan-Sanjeewa-LKD-01.05.2019-O08


තමිල්නාඩුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේත් කන්නියකුමාරි දිස්ත්‍රික්කයෙත් ඔහු තාවකාලිකව ගත කළේය. මේ දිස්ත්‍රික්ක තුනේම සැලකිය යුතු මුස්ලිම් ජනකායක් වාසය කරති. සහ්රාන් වැඩිපුර කාලයක් රැඳුණේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේය. අසාගන්කුලම්, සිතාර්කොට්ටායි, අදියුදු, පුදුවලාසායි, පනායිකුලම් යන මුස්ලිම් ගම්මානවල ඔහු රැස්වීම් ඇමතූ බව වාර්තා විය. බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන කීසාක්කාරායි යන වෙරළබඩ ගම්මානයේ ද ඔහු රැස්වීම්වලට සහභාගී වී තිබේ.

ඔහු මෙම ප්‍රදේශවල ඉස්ලාම් රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් විවෘතව කතා කර ඉස්ලාම් රාජ්‍යයේ හමුදා සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන ලෙස ඉල්ලා තිබේ. සහ්රාන් ඉන්දිය බුද්ධි අංශයේ අවධානයට හසුවන්නේ මෙම අවධියේය. ඉන්දියාවේ රාමනාදපුරම් වෙරළේ කීසක්කාරි සහ ශ්‍රී ලංකාවේ කල්පිටිය අතර සහ්රාන් හෂීඞ් නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු බවට ද සැක කෙරේ.

සහ්රාන් හසීම්ගේ පරිවර්තනය සිදු වී ඇත්තේ ඔහු දීර්ඝව ඉන්දියාවේ ගත කළ කාලයේ දීය. අතිධාවනකාරී ඉස්ලාමීය අන්තවාදී මූලධාර්මික ක්‍රියාකාරී අයකු ලෙස හිඳ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමේ අදහසින් ඔහු ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියාකාරකම්වල නියැලෙන්නෙකු බවට පත්ව තිබේ. සියල්ල ආපසු කැරකී සහ්රාන් හසීම් නැවත ශ්‍රී ලංකාවට එන්නට ඉටා ගත්තේ ඔහු විශ්වාස කළ ඉස්ලාමීය රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් ත්‍රස්ත ක්‍රියාවල නියැලෙන්නටයි.

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ව්‍යාපාරය සහ්රාන් හසීම් ජාතික තව්හීත් ජමාත් සංවිධානය කඩාගෙන අවුත් වඩාත් අන්තවාදී කල්ලියක් වූ ‘තව්හීත් ජමාත් ජාතිය’ හෙවත් එන්.ටී.ජේ. සංවිධානය පිහිට වූයේය. ඉන්පසු ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා ත්‍රස්තවාදී ව්‍යාපාරය දියත් කළ ආකාරය ගැන මීළඟ ලිපියේ කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

ඩී.බී.එස්. ජෙයරාජ් විසින් අප්‍රේල් 27 වැනිදා ඬේලි මිරර් පුවත් පතට සැපයූ ලිපියක් ඇසුරිනි

පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

 

තුර්කි තානාපති කාර්යාලය එවූ තොරතුරු ගැන නොබැලුවේ ඇයි

තුර්කි ජාතික සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆටිතුල්ලා සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා එම පනස් දෙනාගේ සවිස්තරාත්මක රහස්‍ය වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට බාර දී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
ඇඟ කිළිපොලා යන ත්‍රාසජනක කතාව ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය.

ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයා එබඳු රහස්‍ය වාර්තාවක් ලබා දුන් බව සත්‍යකැයි අප පුවත්පතට සහතික වූ එවකට විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ විස්තර දෙවතාවක්ම ෆැක්ස් මගින් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ බවය. ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව විමසූ විට අදාළ විමර්ශන කටයුතු මින් ඉදිරියට පැවරෙන්නේ ආරක්ෂක මණ්ඩලයට බව ලිඛිතව දැනුම් දුන් බව ද වසන්ත සේනානායක මහතා පැවසීය.

ෆටිතුල්ලා ගුලාම් නමැත්තා ෆෙටෝ සංවිධානයේ නායකයාය. එම සංවිධානය තුර්කියේ තහනම් කර ඇති සංවිධානයක් බැවින් ඔහුට තුර්කියේ වාසය තහනම්ය. එහෙයින් ඔහු ඇමරිකාවට පලා ගොස් සිටී. තුර්කිය දැනට පාලන බලය හොබවන ඒ.කේ.පී. පක්ෂයේ පාර්ශ්වකරුවකුව සිටි මෙම සංවිධානය 2016 වසරේදී කුමන්ත්‍රණකාරි ලෙස රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට උත්සහ කළේය. උත්සාහය අසාර්ථක විය. රාජ්‍ය විරෝධීන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ පසු එම කුමන්ත්‍රණකරුවෝ විවිධ රටවලට පලා ගියහ.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් සියලු විස්තර සහිතව දැනුම් දෙන්නේ එම කුමන්ත්‍රණකරුවන්ගෙන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවය. අප පුවත්පත ඇමතූ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා පවසන්නේ තමන් ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන විට තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමත්‍යාංශයෙන් විමසූ බවත් මුස්ලිම් ජාතික දේශපාලනඥයන් දෙදෙනකුගේ මැදිහත්වීම් මත එම විමර්ශන කටයුතු අඩාල වී ඇති බව දැනුම්දුන් බවත්ය.

රාජ්‍ය ආරක්ෂාවට ඍජුවම තර්ජනයක් වන කාර්යයකදී මෙරට වගකිවයුත්තන්ගේ හැසිරීම නින්දා සහගතය. නිර්ලැජ්ජිතය. අවම තරමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ප්‍රකට කළ දේශානුරාගයෙන් බිඳක් හෝ අපේ බලධාරීන් සතු වූ බවක් පෙනෙන්නට නැත.

ෆෙටෝ සංවිධානය ලෝකයේ විවිධ රටවලට පැන ඔවුන්ගේ සුන්නි අන්තවාදී මතය ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ. ඒ වෙනුවෙන්ම බටහිර හා ආසියානු රටවල් රැසක පාසල් පවා ආරම්භ කර ඇත. ඩෙන්මාර්කය, ග්‍රීසිය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඕස්ටේ්‍රලියාව, චීනය, ඉන්දියාව හා යේමනය වැනි රටවල් ෆෙටෝ අන්තවාදීන්ගේ ග්‍රහණයට ගොදුරු වී තිබේ. තුර්කි රජය මේ සම්බන්ධයෙන් එම රටවල් දැනුම්වත් කිරීමෙන් පසු රටවල් 22ක් පමණ එම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ. එහෙත් අපේ රටේ මුස්ලිම් ඇමැතිවරුන් දෙදෙනකුගේ මැදිහත්වීම නිසා එම විමර්ශන කටයුතු අතහැර දැමීමට සිදුවී තිබීම අප තේරුම් ගත යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න වෙනමම කල්පනා කළ යුත්තකි.

සංහිඳියාව යනු ඕනෑම අයකුට ඕනෑම දෙයක් කිරීමට අවස්ථාව සැලසීම නොවේ. අනෙකාගේ සිත රිදෙනු ඇතැයි ද අප ඔවුන්ගේ මූලික හිමිකම් කඩ කර ඇතැයි චෝදනාවට ලක්වනු ඇතැයි ද සිතා අන්තවාදීන්ට රිස්සක් කර ගැනීමට ඉඩදීම කෙලෙසකින් හෝ නිවට බවින් වෙනස් නොවන්නකි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු නිවටවීම යැයි වරදවා වටහාගෙන ඇති ගරු කටයුතු මහත්වරුන් සංහිඳියාව නමැති වහන්දරාවෙන් සිය නිරුවත වසා ගැනීමට උත්සහ දරා තිබේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් ද ඒකාන්ත වශයෙන් ඔප්පු වූ පරම සත්‍ය එයයි.

මේ රට යනු කාගේවත් බූදලයක් නොවේ. මේ රට අයිති මේ බිමේ සැබෑ සුජාත දූ පුතුන්ට ය. උපනූපන් පරම්පරාවන්ටය. එම පරම්පරාවන්ට අප මේ රට ඉතිරි කර දිය යුතුය. රට උකසට තබා සූදු කෙළීමට කිසිවකුට අයිතියක් නැත. මේ ගරු කටයුතු මහත්වරුන් අවම තරමින් ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයාගෙන් හෝ දේශානුරාගය යනු කුමක්දැයි ඉගෙනගත යුතුය. එක් අතකින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ මෙයාකාරයෙන් නම් රට මෙසේ හෝ තිබීම සම්බන්ධයෙන් සතුටට පත්වීමට පුරවැසියාට හැකියාව ඇත.

 

ඉහළ වරදින් පව් ගෙවන ජනතාව

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එතැනින් නතර නොවිණි. ඔවුහු දැන් ආරක්ෂක අංශ සමග සටනට ද පිවිස සිටිති. එය එසේ වූයේ ඇයිද සහ මින් ගැලවීමට කුමක් කළ යුතු දැයි අද “කළ යුත්තේ කුමක් ද” විශේෂාංගයෙන් සාකච්ඡා කෙරෙයි.



Faults-SL-President-and-Primeministre-and-Terrorist-SriLanka-Lankadeepa-LKD-01.05.2019-00

ඒ පිළිබඳව අද රටට කරුණු කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් බර්නාඞ් ගුණතිලක මහතාය. ඔහු 2002 සිට 2004 කාලයේ පැවැති සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද විය. ඇමෙරිකාවේ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද කටයුතු කළ ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ද විය.

අන්තවාදීහු ලෝකයේ සෑම රටකම, සමාජයකම සිටිති. එසේම උම්මත්තකයෝ ද බලයට කෑදර මිනිස්සු ද සෑම සමාජයකම සිටිති. අන්තවාදීන් අනුගමනය කරන්නෝ උම්මත්කයෝය. සිය දිවි නසා ගනිමින් ඔවුන් සමූල ඝාතන කරන්නේ එහෙයිනි. දකුණු ඇමෙරිකාවේ රටක් වන ගුයානා :ඨමහ්බ්* හිදී ජිම් ජෝන් නමින් ආගමික අන්තවාදියෙක් සිටියේය. ඔහුගේ කීම අසා සයිනයිඞ් කා 918ක් මියගියේ 1978 දීය. අන්තවාදයේ හා උම්මත්කභාවයේ භයානකකම අවබෝධ කරගැනීමට එය කදිම උදාහරණයකි.

අප්‍රේල් 21 වැනිදා මෙරට කතෝලික පල්ලි තුනකට හා හෝටල් තුනකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ද අන්තවාදියෙකි. උම්මත්කයෙකි. ඔහුගේ කීම් අසා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ පුද්ගලයෝ ද උම්මත්තකයෝය. අන්තවාදීන් වුවද ඔවුන් පසුපස යන ඔවුන් අනුගමනය කරන මිනිස්සු සිටිති. එසේ උම්මත්තකයන් වන්නේ නූගත් හා දුප්පත් අයම නොවේ. සහරාන් පසුපස ගොස් ඇත්තේ ඉගෙනගත් ධනවත් පුද්ගලයෝය. වේලුපිල්ලේ ප්‍රභාකරන් සේම ඇඩොල්ෆ් හිට්ලර් ද අන්තවාදියෝය. උම්මත්තකයෝය. හිට්ලර් බලයට පැමිණියේ ජනතා ඡන්දයෙනි. එහෙත් අන්තවාදියෙකි.

රටක, සමාජයක එවැනි මිනිසුන් සිටින බව රජය දැනගත් විට රාජ්‍ය යාන්ත්‍රණය නිසිලෙස මෙහෙයවා එවැනි මිනිසුන් කරන්නේ මොනවාදැයි සොයා බලා නිසි තැන නිසි වෙලාවට අවශ්‍ය පියවර ගත යුතුය. එහෙත් අපට එය කළ නොහැකි වූ බව හෝ හිතාමතාම නොකළ බව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනාවරණය වෙයි. කළ යුතු දේ කළ යුතු වෙලාවට නොකළේත් නොකෙරුණේත් ලංකාවේ දේශපාලන ව්‍යුහයේ ප්‍රශ්න මතය. 1980 පමණ තෙක් ලංකාවේ මුස්ලිම් ජනතාව ගොනු වී සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමගය. එහෙත් මුස්ලිම් ජනතාවටම වෙන් වූ දේශපාලන පක්ෂයක් 1981 දී බිහිවිය. එය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩුණු රිෂාඞ් බදුර්දීන් තවත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය. ඒ කවුරුත් වෙන වෙනත් දේශපාලන පක්ෂ ආරම්භ කළේ ඔවුන්ගේ ජාතියට හෝ මුස්ලිම් සමාජයට සෙත සැලසීමේ අරමුණෙන් නොවේ. ඒ සියල්ලන්ගේ අරමුණ තමන්ගේ අභිමතාර්ථයන් සපුරා ගැනීමය.

ජාති හා ආගම් ලෙස පෙනී සිටින පුද්ගලයන්ගෙන් පිරි සමාජයක ස්ථාවරභාවය සඳහා රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත්ව තිබිය යුතුය. අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය බුද්ධි අංශ නිෂ්ක්‍රීය කිරීමේ ප්‍රතිඵලයකි. නිවෙසක් ගොඩනගා තිබෙන්නේ කනු හත අටක් මත නම් ඉන් එක් කනුවක් හෝ බිඳ වැටුණු විට ඉතා සුළු කලෙකින් සමස්ත නිවෙසම කැඩී වැටෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. එය ක්ෂණිකවම සිදු නොවෙයි. යම් කාලයකින් උදාවන අනිවාර්ය ප්‍රතිඵලයකි. අප්‍රේල් 21 වැනිදා වූයේ ද එයමය. ප්‍රධාන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් තමන්ට බලය ලබා ගැනීමටත් ලබා ගත් බලය තහවුරු කරගැනීමටත් තහවුරු කරගත් බලය ව්‍යාප්ත කිරීමටත් සුළු ජාතික පක්ෂවල සහාය ලබා ගැනීම දශක හය හතක් තිස්සේ ලංකාවේ සිදුවන දෙයකි. 1981ට පෙර එය සුළු වශයෙන් වුව ද ඉන්පසු තත්ත්වය වඩා බැරෑරුම් විය. වර්තමාන ආණ්ඩු පවතින්නේම සුළු ජාතිකයන්ගේ හා සුළු කණ්ඩායම්වල සහයෝගයෙනි. සභාග ආණ්ඩු ගොඩ නැගෙන්නේත් පවතින්නේත් ඔවුන්ගේ සහයෝගය මතය. යළි බලය ලබා ගැනීමට අපේක්ෂා කරන නායකයන්ටත් පක්ෂවලටත් ඒ සහයෝගය නැතිවම බැරිය. එය ඒ නායකයන් සේම සුළු ජාතික පක්ෂවල නායකයෝ ද දනිති. වතුකරයේ සිටි සෞම්‍ය මූර්ති තොන්ඩමාන් ද දශක ගණනාවක් කළේ මේ කේවල් කිරීමේ දේශපාලනයයි.

මහපොළොවේ පවතින යථාර්ථය එය වූ විට ප්‍රධාන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් තමන් මත යැපෙන බව ඒ සුළු ජාතික පක්ෂවල නායකයෝ දනිති. එහෙයින් ඔවුහු ප්‍රධාන පක්ෂවල නායකයන්ට විවිධ බලපෑම් කරති. ගැමි ව්‍යවහාරයෙන් කියන්නේ නම් ඒ ඇතැම් සුළු ජාතික නායකයෝ මස් රාත්තලම ඉල්ලති. බලය නැතිවීමේ හා බිඳ වැටීමේ බිය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් අර සුළු ජාතික පක්ෂවල නායකයන්ට අවනත වන්නේ නිරායාසයෙනි. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පෙළඹෙන්නේ සහේතුකවය. එහෙත් ජාතික නායකයන් කල්පනා කළ යුත්තේ ජාතික ආරක්ෂාව ගැනය. ඔවුන් නිතර මොරදෙන භෞමික අඛණ්ඩතාවය ගැනය.

බුද්ධි අංශවලට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණේ නම් සහ ඒ බුද්ධි තොරතුරු මත අනෙක් ආරක්ෂක අංශ නිසි පියවර නිසි වේලාවට ගත්තේ නම් අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව බොරුවක් නොවේ. බුද්ධි අංශ කඩා වැටුණේත් රජයේම පිරිසකගේ වරදින් බව දැන් ජනාධිපතිවරයා ද පිළිගනියි. ජනාධිපතිවරයා රජයේ හා ආණ්ඩුවේ නායකයාය. තම ආණ්ඩුව යටතේ බුද්ධි අංශ කඩා වැටුණු බව ජනාධිපතිවරයාම පිළිගනියි. එසේ නම් දැන් කළ යුත්තේ කුමක් ද? බුද්ධි අංශ ශක්තිමත් කළ යුත්තේ කෙසේදැයි දැන් රජය තීරණය කළ යුතුය. ඒ සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවර ගත යුතුය. ජනාධිපති හා අගමැති අතර පවතින කඹ ඇදිල්ල බුද්ධි අංශ කඩා වැටීමට හා අප්‍රේල් 21 ප්‍රහාරයට කෙතරම් දුරට බලපෑවේදැයි සොයා බැලීම ද අනිවාර්යයෙන්ම කළ යුත්තකි. ප්‍රහාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ කතාවේදී අනාවරණය කළේ 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගි නොවූ බවයි. තමා එහි නොකැඳවූ බව ද අග්‍රාමාත්‍යවරයා කියයි. ආරක්ෂක මණ්ඩලයේ නායකයා කවුද? එහි සාමාජිකයෝ කවරහුද? ඒ සාමාජිකයින් එහි යන එන එක නවත්වන්නේ කව්ද යන්න දැන් රටට රහසක් නොවේ. ජාතික ආරක්ෂක මණ්ඩලයේ වටිනාකම අවතක්සේරු කිරීම බරපතළ කාරණයකි.

ජනාධිපතිවරයා එසේ කරන්නට ඇත්තේ යම් හේතුවක් මත විය හැකිය. ඒ නිසාම වුවද ආරක්ෂක මණ්ඩලයේ වටිනාකම අවතක්සේරු කිරීම අමනෝඥ ක්‍රියාවකි. අපේ බුද්ධි අංශ කඩා වැටීම පැත්තකින් තියමු. එහෙත් විදේශීය බුද්ධි අංශ ද මේ ප්‍රහාර ගැන කල්තියාම ලංකාවට දන්වා තිබිණි. එවැනි තොරතුරක් ලැබුණු විට බුද්ධි අංශ ඒ ගැන වාර්තා කරන්නේ කාටද? ආරක්ෂක ලේකම්ට නම් ඉන්පසුව එතුමා වාර්තා කරන්නේ කාටදැයි පැන නගින්නේ ප්‍රශ්නයකි. ඒ ක්‍රියාදාමය එසේ නොවුණේද? කැඩුණේ කාගෙන්ද? එසේ වූයේ ඇයි යනාදිය සොයා බැලීම ද අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. අප මේ කතා කරන්නේ දේශීය බුද්ධි අංශවල කඩා වැටීමක් ගැන නොව විදේශීය බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීම පිළිබඳවය. අතීතයේදී නම් මෙවැනි තොරතුරු ලැබුණු වහාම ඒ තොරතුරු යැවිය යුතු තැන්වලට යවන්නේ ජනාධිපති ලේකම්වරයා විසිනි. ඉන් අනතුරුව ගත යුතු පියවර ගන්නේ අදාළ නිලධාරීන් ගෙන්වා ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය. එහෙත් මෙවර එසේ නොවුණේ ඇයි? එවැනි බුද්ධි තොරතුරු පිළිබඳව තීන්දු තීරණ ගත්තේ ලිපි යැවීමෙන් නොවේ. කළ යුත්තේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර තීන්දු ගැනීමය.

අනෙක තවුහිත් ජමාත් සංවිධානය ආරම්භ කර තිබෙන්නේ අද ඊයේ නොවේ. දැනට අනාවරණය වී තිබෙන්නේ එය 2014 දී පටන් ගත් බවය. එහි නායක සහරාන් හෂීම් ආගම් විරෝධි හා ජාති විරෝධි ප්‍රකාශ කීපයක්ම කර තිබෙන බව ද අනාවරණය වෙයි. ඒවා ගිනි ඇවිලෙනසුළු ප්‍රකාශ බව කවුරුත් දනිති. ඒ ප්‍රකාශවලට එරෙහිව බොදුබල සේනාව ප්‍රතිචාර දැක්වූ බව ද රටම දන්නා කරුණකි. සහරාන්ගේ ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගතයුතු බුද්ධි අංශ හා වෙනත් ආරක්ෂක අංශ තම වගකීම ඉටුකර නැති බව ද සත්‍යයකි. ඔවුන් තම වගකීම ආරම්භයේදීම ඉටු කළේ නම් අප්‍රේල් 21 විනාශය නොවන බව ද දැන් රටම දන්නා කරුණකි. ඒ වගකීම ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන් මත පැටවීම ද අසාධාරණය. නිදහසේ ස්වාධීනව බලපෑම් හා ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුනට තම රාජකාරියමය වගකීම ඉටුකිරීමට නොදෙන්නේ ද දේශපාලනඥයන්මය. ඇතැම් අවස්ථාවල බුද්ධි නිලධාරින් දේශපාලන නායකයන්ට යම් තොරතුරක් දැන්වූ විට ඒ නායකයන් ඒවා ගණන් ගන්නේ නැත. ඔවුහු ඒවා ඉවතලති. බැහැර කරති. ඇතැම් විට එසේ කරන්නේ අවඥාවෙනි. ඇතැම් විට ඒ තොරතුරු දන්වන නිලධාරින්ට යම් යම් කරදර පමුණුවති. මා මේ තොරතුරු කියන්නේ පුරා වසර 40ක රාජ්‍ය සේවා අත්දැකීමෙනි. ඒ දේශපාලන නායකයන් එසේ කරන්නේ ද විවිධ පුද්ගලයන්ගේ බලපෑම් හේතුවෙනි. බලය රැකගැනීමේ හෝ ලබාගැනීමේ පටු අරමුණු මත පිහිටා කටයුතු කිරීම හේතුවෙනි.

අපට මේ පිළිබඳව කදිම උදාහරණයක් සපයන්නේ මේ ආණ්ඩුවේ හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතාය. තවුහිත් ජමාත් නමින් ත්‍රස්තවාදී කල්ලියක් මෙරට ක්‍රියාත්මක වන බව 2016 නොවැම්බර් 18 වැනිදා තමා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බව රාජපක්ෂ මහතා අප්‍රේල් 23 වැනිදා කියා තිබිණි. තමා එදා කළ ඒ හෙළිදරව්වෙන් පසුව ආණ්ඩුවේම ඇමැතිවරුන් තමාට වටකරගෙන පහර දුන් බවත් රාජපක්ෂ මහතා කියයි. අපේ රටේ කටයුතු සිදුවන ස්වභාවය සහ දේශපාලන නායකයන් තීන්දු තීරණ ගන්නා ආකාරය වටහා ගැනීමට එය කදිම නිදසුනකි. එදා විජයදාස ඇමැතිවරයාට දෝෂාරෝපණය කළ අය අද වෙනත් කතාවක් කියනු නියතය. එසේම හෙට ඔවුන් තවත් කතාවක් කිව හැකිය. අවලාද නැගීම හැර මේ මනුස්සයා කිව්වේ මොනවාදැයි සොයා බැලීමේ වුවමනාවක් අපේ නායකයන්ට නැත.

මාවනැල්ලේදී බුදුපිළිමවල සිරස කඩා දැම්මේ 2018 දෙසැම්බර් මාසයේදීය. එසේම අන්තවාදී ත්‍රස්තවාදීන් පුහුණු කරන වනාතවිල්ලුව පුහුණු කඳවුර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ 2019 ජනවාරි මැද භාගයේදීය. ඒ වැටලීමේදී අත්අඩංගුවට ගත් භාණ්ඩ හා අවි ආයුධ හොර කල්ලියක් හෝ මැර කල්ලියක් පාවිච්චි කරන ඒවා නොවේ. ඒවා ත්‍රස්තවාදී ක්‍රියාවලට යොදාගන්නා භාණ්ඩය. අවි ආයුධය. පුපුරණ ද්‍රව්‍ය හා නයිටි්‍රක් ඇසිඞ් ද එහි තිබී හමුවිය. එහිදී හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව කීවත් ඔවුහු කවරහු ද, ඔවුන්ට වූයේ කුමක් ද, දැනටත් අත්අඩංගුවේ ද, ඔවුන්ට එරෙහිව නඩු දැම්මා දැයි රටේ පුරවැසියෝ නොදනිති. ඔවුන් සිව්දෙනා නිදහස් කරන්නැයි බලපෑම් කළේ කවුද? නිදහස් කරන්නැයි නියෝග කළේ කවුද? යනාදී තොරතුරු ද රටේ ජනතාව නොදනිති. ඒ නියෝගය දුන්නේ ඉහළම දේශපාලකයකු බව නම් නිසැකය. ඉහළ දේශපාලකයන් එසේ කළ විට ඉන්පසු එවැනි දේවල් පසුපස හඹායාමට, වැටලීම් කිරීමට හා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ නිලධරයෝ නොපෙළඹෙති. මක්නිසාද යත් ඒවා නිරර්ථක වීමය. එසේම එසේ කිරීමෙන් තමන්ට නැති කරදර උදාවන හෙයිනි. අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අය අතර එදා වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියකු ද සිටි බව දැන් රටට හෙළි වී තිබේ. ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුත්තේ අන්තවාදී ත්‍රස්තවාදීන් නිදහස් කරන්නැයි අපේ දේශපාලන නායකයන්ට බලපෑම් කළ පුද්ගලයන් සහ ඒ බලපෑම් මත ඒ ත්‍රස්තවාදීන් නිදහස් කළ දේශපාලන නායකයෝය. අල්ලාගත් ත්‍රස්තවාදීන් මුදාහරින්නැයි නියෝග කළ හැක්කේ ජනපතිට හෝ අගමැතිට පමණකි. ඇතැම් විට රටේ පවතින අරාජක භාවය නිසා එසේ අණ දිය හැකි ඊට පහළ පුද්ගලයන් දැන් රටේ සිටිනවා ද විය හැකිය.

මෙවැනි බරපතළ ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බව හිටපු ආරක්ෂක ලේකම් කියයි. එසේ නම් ඔහු බලාපොරොත්තුව සිටියේ මොන වගේ ප්‍රහාරයක්ද, ඔහු බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රහාරයක් වුණාට කමක් නැතැයි ඔහු සිතුවේද, හිටපු ආරක්ෂක ලේකම් කියන හැටියට වී තිබෙන්නේ තමන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රහාරයකි. ජීවිත හානි සුවිශාලය. සංචාරක කර්මාන්තය එහෙම පිටින්ම කඩා වැටිණි. ආරක්ෂක ලේකම් දැන සිටියේ ගල් ගසනවා පමණක් කියා නම් ඒ බව හෝ පල්ලිවලට හා හෝටල්වලට දැන්විය යුතුව තිබිණි. ඔහු කල්තියා ඒ බුද්ධි තොරතුරු සමාජගත කළේ නම් සමාජය ඊට මුහුණ දීමට පියවර ගන්නේය. හානි අවම කරගැනීමට හැකියාව තිබිණි. අප්‍රේල් 21 වැනිදායින් පසුව මේ වනතුරුත් සිදුවන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් කළ යුතුව තිබුණේ ඒ බුද්ධි තොරතුරු ලැබුණු දිනවලමය. අප්‍රේල් 4 හා 8 වැනිදා සේම 11 වැනිදා ද මේ ප්‍රහාරය ගැන බුද්ධි අංශ මගින් අනතුරු අඟවා තිබිණි. 11 වැනිදා අනතුරු ඇඟවීම කළේ අපේ දේශීය බුද්ධි අංශ විසිනි. අප්‍රේල් 04 හා 09 වැනිදා අනතුරු ඇඟවීම් කළේ විදේශීය බුද්ධි අංශ විසිනි. විශේෂයෙන් ඉන්දීය බුද්ධි අංශ මගිනි. එතරම් කල් තබා මේ තොරතුරු ලැබී තිබියදීත් අපේ ආරක්ෂක ලේකම් නිහඬව සිටියේ ඇයි?

ඒ අනතුරු ඇඟවීම් පිළිබඳ තොරතුරු ලැබුණු පුද්ගලයන් ඒ පිළිබඳව ඉහළ දැනුවත් කළා ද, ඒ දැනුම් දීම ගණන් ගත්තේ ද නොගත්තේ දැයි රටේ පුරවැසියෝ නොදනිති. එහෙත් එය දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් තිබේ. මක්නිසාද මේ සියල්ල අවසානයේ විඳවන්නේ රටේ සාමාන්‍ය ජනතාවම වන බැවිනි. ඒ බුද්ධි තොරතුරු ලැබුණු වහාම කළ යුතුව තිබුණේ ආරක්ෂක මණ්ඩලය රැස් කරවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමය. එහෙත් එය එලෙස නොවුණේ ඇයි? එසේ වුණේ නූතන ලංකාවේ අක්‍රිය රාජ්‍යයක් (Disfunctional State) පවතින හෙයිනි. මේ පාලන තන්ත්‍රයේ කිසිවෙක් ක්‍රියාත්මක නොවෙති. ක්‍රියාත්මක වන්නේ නම් අවස්ථා තුනකදී බුද්ධි අංශ මගින් අනතුරු අඟවා තිබියදී ප්‍රහාරය මැඩපැවැත්වීමට හෝ විනාශය අවම කරගැනීමට ක්‍රියාත්මක නොවුණේ ඇයි?

මින් ඉදිරියටවත් ආරක්ෂක මණ්ඩලය රැස්විය යුතුය. එහි කෙරෙන සාකච්ඡා මත ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුය. බුද්ධි අංශ යළි ශක්තිමත් කර බාධා හා හිරිහැර කිරීම්වලින් තොරව ඔවුනගේ රාජකාරිමය වගකීම් ඉටුකිරීමට ඔවුනට නිදහස ලබා දිය යුතුය. පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වන පුද්ගලයින්ට ඉඩ නොදී රටේ හා ජනතාවගේ වුවමනා හා අභිවෘද්ධිය සැලසෙන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුය. එහි මූලික වගකීම ඇත්තේ ජනාධිපතිටය. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කොමිසමට අවශ්‍ය සහාය සහ සහයෝගය බාධා කිරීම්වලින් තොරව ලබා දීම ද අත්‍යාවශ්‍ය කාරණයකි. එසේම ඒ කොමිසමේ වාර්තාව හමස් පෙට්ටියට නොදමා ප්‍රසිද්ධියට පත්කර එහි නිර්දේශ ක්‍රියාවට නැංවිය යුතුය. විදේශ බුද්ධි අංශ සමග දැනට පවතින සබඳතා තව තවත් තරකරගත යුතුය. මේ සියල්ල කළ හැකි වන්නේ දේශපාලකයන් ලෙස කටයුතු කිරීමෙන් නොව සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කරමු.

 

මුස්ලිම්අන්තවාදයකාතන්කුඩියෙන්උපන්හැටි


Terrorist-SriLanka-Lankadeepa-photo-Kathankudiya-LKD-01.05.2019-O01


Terrorist-SriLanka-Lankadeepa-photo-Kathankudiya-LKD-01.05.2019-O02

 


Terrorist-SriLanka-Lankadeepa-photo-Kathankudiya-LKD-01.05.2019-O03

‘මුස්ලිම්’ අන්තවාදී ආගමික න්‍යාය මුල් කොටගත් ‘ජිහාඩ්වාදය’ පිළිගත් හා ඊට නැඹුරුවූ ඇතැම් මුස්ලිම් තරුණයින් මුල් වතාවට බිහිවූයේ නැගෙනහිර පළාතේ ‘කාතන්කුඩි’ ප්‍රදේශයෙනි. 21/4 සිදුවූ කොළඹ ප්‍රහාරයට වගකිවයුතු ලෙස දැනට හඳුනාගෙන ඇති ජාතික තව්හිඩ් ජමාත්’ හෙවත් ‘එන්ටීජේ’ කල්ලියේ නායකයා වන ‘මොහොමඩ් සහරාන් හෂ්මි’ ඇතුළු සාමාජිකයින් කිහිපදෙනා කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි අයවලුන්ය. මෙකී ප්‍රදේශයෙන් එවැන්නක් බිහිවීමට යම් පසුබිමක් තිබේද යන්න මුලින්ම විමසා බැලීම වටී. ‘කාතන්කුඩිය’ සැබැවින්ම ශ්‍රී ලංකවේ මුස්ලිම් ජනයා බහුලව ජීවත්වන ප්‍රදේශයන් අතුරින් වැඩි ජන ඝනත්වයකින් යුත් නගරයක් මෙන්ම ප්‍රදේශයකි.

1990 වර්ෂයේ දී එල්ටීටීඊ සාකච්ඡා අතහැර නැවත වරක් ප්‍රචණ්ඩත්වයට යොමු වූ විටදී ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ මුස්ලිම් ප්‍රජාවය. ප්‍රහාරයන් එල්ලකර නැගෙනහිර ප්‍රදේශයෙන් මුස්ලිම් ජනයා පලවා හැරීම එල්ටීටීඊයේ සමස්ත උපායශීලී අරමුණ විය. එරාවුර්, පොළොන්නරුව, අලිංචිපතන, පල්ලියගොඩැල්ල, අහමඩ්පුර යනාදි ගම්මානයන් මේ අනුව එල්ටීටීඊයේ ප්‍රහාරයන්ට ලක්විය. කාතන්කුඩිය සෙසු මුස්ලිම් හා සිංහල ප්‍රජාවන් වෙසෙන ප්‍රදේශයන්ගෙන් වෙන්වී තිබීම හා දෙමළ ගම්මානයන්ගෙන් වටවී හුදකලා වීම නිසා මෙහි විසු ප්‍රජාව සෙසු ප්‍රදේශයන්ට වඩා දැඩි ලෙස ත්‍රස්තවාදී තර්ජනවලට ලක්විය. මේ හේතුව නිසා යුද හමුදා කඳවුරක් කාතන්කුඩි නගරයේ පාසල් ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.

පල්ලියට ප්‍රහාරය

ඒ 1990 අගෝස්තු මස 03 වැනිදාය. 1930 පැයට ආසන්නය. සුපුරුදු පරිදි පිරිස් ‘කාතන්කුඩි’ පල්ලියට පැමිණ තම ​යාච්ඤාවන් සිදු කරති. ඒ අතරතුර ඉතා රහසිගතව ‘නවකුඩා’ දමිළ ගම්මානය හරහා ඇතුළු වූ ‘එල්ටීටීඊ’ කණ්ඩායමක් ක්ෂණිකව කාතන්කුඩිය පල්ලිය තුළට කඩා වදී. ඔවුහු අත්බෝම්බ හා ස්වයක්‍රීය ගිනි අවි භාවිතයෙන් විස්මිත ප්‍රහාරයක් එල්ල කරති. ප්‍රහාරයෙන් 103 දෙනෙකු මියගොස් තවත් 70 දෙනෙකු තුවාල වේ. එල්ටීටීඊ කණ්ඩායම දමිළ ගම්මානයට පැන යයි.

දිනය 1992 වර්ෂයේ ජූලි 15 දිනයි. කාතන්කුඩි, කලවන්චිකුඩි හා කල්මුනේ මාර්ගයේ ‘කිරාන්කුලම්’ හිදී බස් රථයකට පහරදී එල්ටීටීඊය කාතන්කුඩි වැසියන් 19 දෙනෙකු ඝාතනය කරයි. පවතින තර්ජනය පාලනය කරනු පිණිස යුද හමුදාව මෙහෙයුම් කිහිපයක් සිදුකර කාතන්කුඩි නගරයේ සිට කලවන්චිකුඩි දක්වා මාර්ගය අවට ප්‍රදේශයද එල්ටීටීඊයේ ප්‍රධාන තිප්පොලක් වූ කොක්කඩිචෝල ප්‍රදේශයද හමුදා පාලනය යටතට ගනී.

උතුරු නැගෙනහිර බෙදුම්වාදී සන්නද්ධ ගැටුමේදී ලැබූ අත්දැකීම් ද ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවූ ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ද ජාත්‍යන්තර වශයෙන් බිහිවූ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය ද ශ්‍රී ලංකාවේ ජිහාඩ් අරගලයක් නැගෙනහිර ප්‍රදේශයේ විශේෂයෙන් කාතන්කුඩි ග්‍රාමයේ බිහිවීමට හේතුවූ ලෙස පෙනේ. මැද පෙරදිග මුස්ලිම් රාජ්‍යයන් සමග කිට්ටු සබඳතාවන් පවත්වා ගනිමින්, දේශපාලනික හා ආර්ථික වශයෙන් අන් ප්‍රදේශයන්හි වෙසෙන මුස්ලිම්වරුන්ට වඩා වැඩි බලපුළුවන්කාරකමක් ඇති පිරිස් වෙසෙන ප්‍රදේශයක් ලෙස කාතන්කුඩි එදා සිට අද දක්වා පිළිගැනේ.

1990 දශකයේ මුල් භාගයේදී ලෝකයේ එතෙක් පැවතෙමින් තිබූ එක් තත්ත්වයක් වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් හා සෝවියට් සංගමය අතර තිබූ දේශපාලන ආරක්ෂක හා ආර්ථික වශයෙන් සිදුවූ ‘සීතල යුද්ධයේ’ අවසාන අදියරයයි. ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කිසිදු ක්‍රියාකාරකමක් මෙම වකවානුවේදී වාර්තා නොවිණි. කෙසේ වුවද ඉස්ලාම් අන්තවාදය හුදෙක් ඉබේ පහළ වූවක් නොවේ. ඇමෙරිකානු සී අයි ඒ සංවිධානයේ දේශපාලන හා ආර්ථික කුමන්ත්‍රණයට හසුවීමෙන් සෝවියට් දේශය බිඳ වැටුණි. ඒ සමග ඊට අදාළ රටවල් කැඩීයාම ආරම්භ විණි. යුගෝස්ලාවියාව එහි එක් ප්‍රතිඵලයකි. ඉන් ඇතිවූ සිවිල් යුද්ධයේදී ක්‍රිස්තියානි සර්බියානුවන් මුස්ලිම් බොස්නියන්වරුන් සමුලඝාතනය කළහ. එය මුස්ලිම් අන්තවාදය ආරම්භවීමට පාදක වූ එක් ප්‍රධාන සිදුවීමක් විය.

 


Terrorist-SriLanka-Lankadeepa-photo-Kathankudiya-LKD-01.05.2019-O04

මෙම අප්‍රේල් 21දා කොළඹ ප්‍රහාරයේ දී සිදුකළ පිපිරවීම් සියල්ලම ඉතා දැඩි ලෙස අලාභහානි ගෙන දී ඇති බව පැහැදිලිය. මෙය එල්ටීටීඊය මෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වන ආර්.ඩී.එක්ස්/ ටීඑන්ටී භාවිතයෙන් සිදුකර ඇති බවත් එල්ටීටීඊය ඇති කළ විනාශයට වඩා අධික විනාශයක් සිදුකර ඇති බව පෙනේ. එය මෑතකදී ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ හා පකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට සමාන අයුරින් සිදුවූ බව කීම නිවැරදිය. ඒ අනුව මෙකී පිපිරවීම්වලට යොදාගත් තාක්ෂණය කුමක්දැයි සෙවීමට බෝම්බ පිළිබඳ විශේෂඥයින් යොදා අධ්‍යයනය කිරීම වටී. ගල්ෆ් යුද්ධයෙන් පසු කාලයේදී බෝම්බ ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන ඇමෙරිකානු සන්නද්ධ රථයක් වූ ‘හම්වී’ රථය ඉරාකයේදී ප්‍රහාරයකට ලක්ව අලාභහානි විය. පසුව කරනු ලැබූ පරීක්ෂණවලදී හෙළිවූයේ එකී බෝම්බයේ හැඩය (ෂේප් චාර්ජර්) වෙනස් අයුරකින් එහි බලය ප්‍රගුණ වනසේ නිර්මාණය කර පුපුරුවා හැර ඇති බවය. ඒ අනුව මෙම ත්‍රස්තවාදී කල්ලිය විසින් භාවිතයට ගනු ලැබූ බෝම්බද ඇතැම් විට එලෙස නිර්මාණය කර තිබෙන්නට ඇත.

පසුගියදා කොළඹ ප්‍රහාරය එල්ටීටීඊය විසින් කොළඹ නගරයේ සිදු කරනු ලැබූ සියලු ප්‍රහාරයන්ට වඩා ප්‍රබල එකකි. 1986 සිට ඔවුන් සිදු කළ ප්‍රහාරයන් අතුරෙන් 1987 අප්‍රේල් මස 21 දින කොළඹ කොටුවේදී පුපුරුවා හරින බෝම්බයෙන් 110 ක් මියගොස් 298ක් තුවාල වූ අතර 1996 ජනවාරි 31 දින සිදුකළ මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් 91ක් මියගොස් 1200ක් තුවාල විය. එසේම එල්ටීටීඊය විසින් සිදු කළ සියලු බෝම්බ ප්‍රහාරයන් එකකට සීමාවූ අතර ප්‍රහාර ගණනාවක් එකවර කිරීමේ ක්‍රමෝපායකට යොමු නොවීය. එල්ටීටීඊය සිදුකළ බෝම්බ ප්‍රහාරයන්හි අරමුණ හා එන්ටීජේ සිදුකළ බෝම්බ ප්‍රහාරයන්හි අරමුණ එකිනෙකාට වෙනස්ය. එල්ටීටීඊයේ අරමුණ වූ​ෙය් දේශීය වශයෙන් භූමිය ඉලක්කකොට ගෙනය. එහෙත් එන්ටීජේ හි ඉලක්කය දේශීය මෙන්ම ජාත්‍යන්තරය ද වන අතර එය මතවාදී යුද්ධයකි. (අයිඩියොලොජිකල් වෝර්) සියලු යුද්ධයන්ට වඩා එය ස්වභාවයෙන් දරුණු හා කෲර ය.

ප්‍රධාන හෝටල් ඉලක්ක කර සිදුකරනු ලැබූ ප්‍රහාරයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අස්ථාවර කිරීමේ අදටනින් සිදු කරන ලද්දක් ලෙස බාහිරෙන් දැකීමට පුළුවන. එහෙත් ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ අරමුණ එය නොවේ. යුරෝපීය බටහිර ජාතීන් වැඩි වශයෙන් ගැවසෙන්නේ හෝටල් පරිශ්‍රයන්හිය. ඔවුන් විනාශ කිරීම එක් අරමුණකි. එසේ නම් මෙලෙස බටහිර ජාතීන් ඉලක්කගත කිරීමට හේතුව කුමක්විය හැකිද? සැබැවින්ම මෙය බටහිර ශිෂ්ටාචාරය හා ඉස්ලාම් ශිෂ්ටාචාරය අතර පවතින ගැටුමකි. ඉස්ලාම් මූලධර්මවාදීන් බටහිර සංස්කෘතිය තම ඉස්ලාම් සංස්කෘතියට එරෙහිව ගොඩනැගෙන සතුරෙක් ලෙස දැකීම ඊට හේතුවයි.

ත්‍රස්තවාදය කුමන කණ්ඩායමක් විසින් යොදා ගත්තද එහි ප්‍රධාන අරමුණ වන්නේ සිවිල් ප්‍රජාව තුළ මානසික භීතියක් ඇතිකර ඉන් තම අභිප්‍රායයන් ඉටුකර ගැනීමය. ලෝක අවධානය යොමු කරවා ගැනීම එහි දෙවන අරමුණයි. මෙකී ද්විත්ව අරමුණු ඉටුකර ගැනීමට හැකි ඕනෑම ඉලක්කයක් කරා ඔවුන්ට යා හැක.

දේව සංකල්පය මත පදනම් වූ ඉස්ලාම් ආගම හා කිතුනු ආගම බැලූ බැල්මට එකම ධර්මයකි. එහෙත් එකිනෙකට වෙනස් ආගමික වතාවත් මෙකී ආගම් දෙකම අනුගමනය කරයි. ඉස්ලාම් දහමට අනුව පිළිම වන්දනා කිරීම වරදකි. එහෙත් කිතුනුවන් පිළිම වන්දනාවේ යෙදෙති. ඉස්ලාම් මූලධර්මවාදීන් එය තමන් අදහන දෙවියන්ට කරනු ලබන නිග්‍රහයක් ලෙස සලකති. ඒ අනුව කිතුනු දහම ඔවුනට සතුරෙකි. ක්‍රිස්තියානි දේවස්ථාන ප්‍රහාරයන්ට ලක්වීමට හේතුව මෙයයි.


Terrorist-SriLanka-Lankadeepa-photo-Kathankudiya-SL-Army-L.CO-SusanthaSenevirathna-LKD-01.05.2019-O5


ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයේ ප්‍රහාරක ලැයිස්තුවට ඇතුළත් වන තවත් ඉලක්කයක් ඇත. එය අන් කවරෙකු හෝ නොව ඊශ්‍රායලය හා යුදෙව්වන්ය. එයට කදිම නිදසුනක් ලබා දෙන්නේ 2008 වසරේ පාකිස්තානු ‘ලෂ්කර් ඊ තයිබ’ කල්ලිය විසින් මුම්බායේදී සිදුකළ ප්‍රහාරයෙනි. ස්ථාන 6ක් ඉලක්ක කොටගත් ප්‍රහාරයන් අතුරෙන් එක් ප්‍රහාරයක් එල්ල කෙරුණේ නරිමන් හවුස් ලෙස හැඳින්වූ යුදෙව් ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලැබූ අවන්හලක් ඇතුළු ගොඩනැගිල්ලකටය. ඒ අනුව මෙම 21 වැනිදා කොළඹ ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන් තම ඉලක්කයන්​ තෝරා ගත්තේ කුමන හේතු මතද යන්න අධ්‍යයනය කිරීම වටී. අන් සියලු ප්‍රහාරයන් කොළඹ හා අවට ප්‍රදේශයේ සිදුවූ විට කොළඹින් ඉතා දුරස්ථ ස්ථානයක් වූ මඩකළපුවේ zion දේවස්ථානය මේ සඳහා ඉලක්ක ගත වූයේ ඇයිද යන්න විමසිය යුතුය. z සයින් යන්නෙන් අර්ථ දෙකක් දැක්වේ. මින් පළමුවැන්න එය ඊශ්‍රායලයේ උස් භූමියක නමකි. සයිනිස්මි යනු යුදෙව්වන්ගේ පැවැත්ම සඳහා සිදුකරන අරගලයකි. මින් දෙවැන්න බයිබලයේ සඳහන් කින්ඩම් ඔෆ් ගෝඩ් හෙවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි. ඒ අනුව දේවස්ථානයට සිදුකළ මෙම ප්‍රහාරය මුම්බායි ප්‍රහාරය මෙන් යම් ඊශ්‍රායල් නාමයක් ඉන් කියැවෙන හෙයින් සිදුකළා ද එසේ නැතහොත් වෙනත් කරුණක් නිසාද යන්න විමසීම වටී.

කෙසේ හෝ ප්‍රහාරකයන් කතෝලික හා ක්‍රිස්තියානි යන දේවස්ථාන දෙවර්ගයම ඉලක්ක කර ඇත. එසේම කොළඹ පිහිටි අන් දේවස්ථාන වෙත බොහෝ විට පැමිණෙන්නේ තම සාමාජික බැතිමතුන් වීමත් ඔවුන් එක්තරා සමාජ පංතියකට අයිති අයවලුන් වීමත් නිසා බෝම්බකරුවන් හට දේවස්ථානයට ඇතුළුවීම තරමක් අනතුරුදායකය. එබැවින් අදාළ දේවස්ථානයන් තම ඉලක්කයන් ලෙස තෝරාගෙන නොමැති බව පෙනේ. මඩකළපුව දේවස්ථානයට ගිය බෝම්බකරුට ඇතුළුවීමට නොහැකිව පිටතදී බෝම්බය පුපුරුවා ගැනීමෙන් එය මනාව පැහැදිලි වේ.

කොළඹ ප්‍රහාරයේ වගකීම අයිසිස් භාරගත් බවට විදේශ මාධ්‍ය හරහා ප්‍රකාශ විණි. එහෙත් එහි සත්‍යතාව තහවුරු කළ නොහැක. 2015 ඔක්තෝබර් 31 වැනි දින ඊජිප්තුවේ සිනායි කාන්තාරයට ඉහළින් මගීන් 224 ක් රැගෙන පියාසර කරමින් තිබූ රුසියානු මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටිණි. එය ‘අයිසීස්’ විසින් කරනු ලැබූවක් ලෙස ඔවුන් ප්‍රකාශ කළද එය රුසියාව ප්‍රතික​්ෂේප කළේය. පසුව කරන ලද විමර්ශනයේදී හෙළිවූයේ නඩත්තුවේදී ඇතිවූ අතපසුවීමක් නිසා යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය කඩා වැටුණු බවය. ඒ අනුව මෙලෙස වගකීම් පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඔවුන්මද යන්න කිසිවිටකත් ස්ථිරවම තහවුරු කළ නොහැක.

 

නොසැලූණුඅගරදගුරුතුමෝ

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් කවුදැයි මේ මොහොත වනවිට නොදන්නා කිසි කෙනෙක් නැත. යේසුස් වහන්සේ මරණින් උත්ථාන වූ පාස්කු ඉරිදා ඇතිවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් සිය ගණනක් නොසැලී සිටිමින් රටම ලේ විලක් වීම නවතා ලූ දේව දූතයා ඔහුය.

කාදිනල්තුමන් කතෝලික ජනතාව පමණක් නොව වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් අතරේ පවා බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි. ඒ එතුමන් තුළ පවතින දැනුම, නොසැලෙන බව, සරල බව මෙන්ම චාම් නිහතමානී ගතිගුණ හේතුවෙනි.

පාස්කු ඉරිදාව තමන් සතු හොඳම ඇඳුම ඇඳ දේවස්ථානයට ආ කොච්චිකඬේ කටුනේරියේ මෙන්ම මඩකලපුවේ අහිංසක බැතිමතුන් ඊළඟ සතියේ දේව මෙහෙයට පැමිණියේ නැත. තරු පන්තියේ හෝටල්වල නැවති සිටි දේශීය මෙන්ම විදේශිය සංචාරකයෝ, විශේෂයෙන් විදේශීය කෝටිපතියන් ගේ දරුපවුල් පිටින් විනාශ විය. මේ හානිය ක‍්‍රිස්තියානි පල්ලිය ඉලක්ක කර කළ එකක් බව කාදිනල් තුමන්ට පළමු මොහොතේ ම නොදැනුනා නොවේ.

මුහුදු බඩ ධීවරයෝ අති බහුතරය කතෝලිකයෝය. මහ මුහුද සමඟ නිරන්තර ගැටෙන ධීවර ප‍්‍රජාව සාමාන්‍යයෙන් ප‍්‍රචණ්ඩ හැසිරීම් පෙන්වති.

එදා ප‍්‍රහාරය පල්ලියට එල්ල කළ එකක් යැයි නිකමට හෝ කාදිනල් තුමන් වෙතින් කියැවුණේ නම් මේ ධීවර ප‍්‍රජාව නිකම් සිටිනු ඇත්ද? සැබැවින්ම මහා ආගමික යුද්ධයකට කැපෙන්නට ගිය පාර මුළුමනින්ම වසා දැමූයේ උන්වහන්සේ ගේ ශාන්ත වදන් පෙළයි.

ත‍්‍රස්තවාදයට ආගමක් නැත. අපි ඔවුන්ට ද මෛත‍්‍රි කරමු. කිසිම කෙනෙකුට විශේෂයෙන්ම වෙනත් ආගමක් අදහන කිසිවෙකුටවත් අත උස්සන්න එපා යයි උන් වහන්සේ මුළින්ම ඉල්ලා සිටියහ.,

ශ‍්‍රී ලාංකිකයෝ ආගම භෂාවහෝ ජාතිය මුල් කරගෙන පක්ෂ වශයෙන් බෙදී ඇත්තේ ඇත්තෝ වෙති. ප‍්‍රධාන පක්ෂ තුන හතර ඇරුණු විට මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් දෙමළ ජාතිකයන් වෙනුවෙන් මෙන්ම ආගමික පදනමින් පක්ෂ පිහිටුවා ඇත. එහෙත් කතෝලිකයන් ගේ පක්ෂයක් නැත.

”මීට අවුරුදු 25කට පමණ පෙර කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් පිහිටුවන්නට එක්තරා පිරිසක් සූදානම් වුණා. දොර ඇරල තියෙනවා එළියට යන්න පුළුවන් කියල මම ඒ අයට කිව්වා. ශ‍්‍රී ලාංකිකයන් එසේ වෙන වෙනම දේශපලන පක්ෂ පිහිටුවා ජාතිය ආගම පදනම් කරගෙන අකටයුතුකම් කරද්දි අනිවාර්යයෙනේම බෙදීමක් ඇති වෙනවා. ඒ නිසා වෙන වෙම රාජ්‍යයන් පිහිටුවීමේ සංකල්ප ඇති වෙනවා” යයි උන්වහන්සේ කීහ.

පල්ලිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියත් සමග මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන්ගේ කෙලින් කථාව, සමාජයේ ආවේග පාලනය කර සාමය රඳවා ගැනීමත් හා මධ්‍යස්ථ මතදැරීමත් වෙනුවෙන් ආණ්ඩුවේ බලවතුන් වෙඩි නොවදින වාහනයකින් සන්තෝසමක් ගෙවන්නට සූදානම් විය. එය දැනගත් වහා එය ප‍්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේ කටයුතු කළහ.

”මට ආරක්ෂාව සපයන අය දෙන වාහනයක් ඇති. මම ඒකට නගින්නේ වෙඩි වදිනවද නැද්ද අහල නොවෙයි. මොනව හරි වෙන්න තියෙනවා නම් මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මට වෙඩි නොවදින ඒව ඕන නැහැ” උන්වහන්සේ පවසා තිබිණි.

ගිනිගත් සමාජය නිවන්නට කාදිනල්තුමන් ගේ දායකත්වය අංක එකට ලැබුණත් මේ ප‍්‍රශ්න විස`දමින් ජනතාවට සාධාරණය ඉටු කරන්නට ආණ්ඩුව අසමත් බවට චෝදනා කරන කාදිනල් තුමෝ සර්ව ආගමික නායකයන් සමඟ එක්ව පාරට බැස ඉදිරියෙන්ම යන්නට පෙර මෙවැනි සිද්ධින් නොවන්නට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ද ඉල්ලා සිටියහ. අවශ්‍ය තැන සටන්කාමී නායකත්වය ද ලබාදෙන පෞරුෂය උන්වහන්සේ ලඟ නොඅඩුව තිබේ යැයි එයින්ම පෙනෙන්නේය.

සටන් වදින පාලකයන්ගේ පා අල්ලා සාමය වෙනුවෙන් අයදින පාප් වහන්සේ තම කාදිනල්වරුන් අතරට එක්කර ගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවියන්ගේ සැබෑ දූතයෙක් යැයි කිසිවකු කියන්නට උවමනා නැත.

විනීතා එම් ගමගේ

 

අශ්වයා පැනගිය පසු ඉස්තාලයේ දොර වැසීම


SL-Fraud-Government-and-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-00


නිලධාරී මට්ටමේදී පැවති ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාවය, බුද්ධි අංශවලින් කළ අනතුරු ඇඟවීම් තරයේම නොසළකා හැරීම, තත්ත්වය පාලනය කරගැනීමෙහි ලා දේශපාලනමය නායකත්වයේ වූ අසමත්භාවය හමුවේ 359 දෙනෙක්ට, පසුව සැළකිය යුතු මට්ටමකින් 253ක් දක්වා පහත හෙලනු ලැබුණු, පසුගිය පාස්කු ඉරිදා සංහාරයේ දී සිය ජීවිත අහිමි විය. තුවාළ ලැබූවන්ගේ සංඛ්‍යාව 600 කට ආසන්න බැව් මුලින් සදහන් කෙරුණ ද, එය ද පසුගිය බ්‍රහස්පතින්දා රැයේ 149ක් දක්වා පහත හෙලුණේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ සටහන් වූ විශාලම සංහාරයන්ගෙන් එකක ඛේදාන්තයට එයට ඈඳිය නොයුතු පන්නයේ හාස්‍යයක් ද එක් කරවමිනි.


SL-Fraud-Government-and-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-O01


වහාම ඉල්ලා අස්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය ද, පොලිපති පූජිත් ජයසුන්දර මහතා සිය ධූරයේ තවදුරටත් රැදී සිටී. ඔහු වෙනුවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සී.ඩී.වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙෂ ඊයේ (29 වැනිදා) පත්කරන ලදි. ඉල්ලා අස්වන ලෙස පොලිස්පතිවරයාට කර තිබෙන දැනුම්දීම හමුවේ දිවයින පුරා පොලිස් ස්ථාන මේ වන විට ඔවුනොවුන්ට ලැබෙන උපදෙස් නැවත වරක් පොලිස් මූලස්ථානයෙන් සහතික කරගැනීමට යොමුවී සිටී.

විමර්ශන සදහා අවශ්‍ය බව සදහන් කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඡායාරූප සහ විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත් කළේය. එහි සදහන් වූ එක් තැනැත්තියක් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා කියා සිටියේ එම කිසිදු සැකකරුවකු සමග තමාගේ සම්බන්ධතාවයක් නොමැති බවයි. මේ හමුවේ නිර්මාය වූ වියවුල ද පසුව නිවැරදි කෙරිණ.

ඉල්ලා අස්වන ලෙසට කැරුණු දැනුම්දීම හමුවේ ඉල්ලා අස්වුනු හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ ආරක්ෂක ලේකම් තනතුරට හිටපු හමුදාපතිවරයකු වූ ශාන්ත කෝට්ටගොඩ මහතා පත්කරන ලදි.

ශාන්ත කෝට්ටගොඩ මහතා පත්වීමට පෙර, සිරිසේන මහතා රටේ ජනපතිවරයා ලෙස පාලනය භාරගත් 2015 සිට, මේ දක්වා පත්වූ ආරක්ෂක ලේකම්වරුන්ගේ සංඛ්‍යාව 5 කි. ඔවුන් කිසිවෙකුට හෝ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කිසිදු පූර්ව අත්දැකීමක් නොතිබුණු අතර, ආරක්ෂක කටයුතුවලට අදාළ කාරණා සම්බන්ධයෙන් ද කිසිදු අවබෝධයක් නොතිබිණ. ආරක්ෂක ලේකම්වරයා පත්කිරීමේ දී සැළකිල්ලට ගැනුණු ප්‍රධානම කාරණය වූයේ ඔවුන්ගේ දේශපාලන පසුබිමයි.

කලින් පැවැති රාජපක්ෂ රජය හා රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් සමග කිසිදු සබඳතාවයක් නොතිබීම ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීම සදහා සැපිරිය යුතු වූ ප්‍රධානම සුදුසුකම විය. රටේ බුද්ධි අංශයේ ඉහළම තනතුර වන ජාතික බුද්ධි ප්‍රධානිී තනතුරට පුද්ගලයින් පත්කිරීමේදී අවධානය යොමු කැරුණු ප්‍රධාන සුදුසුකම ද මෙයම විය. බුද්ධි තොරතුරු එක්රැස් කරගැනීමෙහි කිසිදු පළපුරුද්දක් නොමැති විශ්‍රාමික අපරාධ පරීක්ෂකවරයෙක් මෙම තනතුරට පත් කැරුණු අතර, වාර්ෂිකව ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ ධූර කාලය දීර්ඝ කැරිණ.

දැන්, ඔවුන් රජයේ වෙනත් ආයතන වෙත යැවූ රහසිගත බැව් කියන වාර්තා සමාජ මාධ්‍ය හරහා කරළියට පැමිණ තිබේ. මෙය තමතමන්ගේ ගැලවීම සදහා ඔවුන්ම කළ දෙයක් බවට කිසිදු සැකයක් නැත. ජාතික බුද්ධි ජාලය මත ද අනවශ්‍ය බරක් පැටවී තිබෙන බව ද මෙහි දී සදහන් කළ යුතුය. ගෙවුණු සමයේ බොහෝ විට තමන්ට බල කැරුණේ දේශපාලන විරුද්ධවාදීන් ලුහුබැදීමට මිස ජාතික ආරක්ෂාවට අදාළ බුද්ධි තොරතුරු එක්රැස් කිරීමට නොවන බව බුද්ධි අංශ නිලධාරීන් පවසා සිටිනුයේ අතිශය කණගාටුවෙනි.

සිකුරාදා රටේ මාධ්‍ය ප්‍රධානීන් ඇමතූ ජනපති සිරිසේන මහතා, බුද්ධි තොරතුරු ලබාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් තමා විමසා සිටි විට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යන දෙදෙනම බිම බලාගත් බව පැවසුවේය. ආරක්ෂක ලේකම්වරයා සැළකීමේ දී තත්ත්වය තවත් බරපතලය.

මීට මාස කිහිපයකට ඉහත ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික නායකයන් සාමාජිකත්වය දරන විශාලතම එකතුව වන ඕල් සිලෝන් ජමායිතුල් උලෙමා සංවිධානයේ දූත පිරිසක් හා ජනපති සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී ඇත. එම දූත පිරිසේ අරමුණවී ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයට සහාය දක්වන ත්‍රස්ත කණ්ඩායම් කිහිපයකින් මෙරටට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් කල්තියාම අනතුරු ඇගවීමක් සිදුකිරීමය.

අයිඑස් ත්‍රස්ත කණ්ඩයාම අරාබි භාෂාවෙන් ‘ඬේෂ්’ ලෙස හැදින්වෙන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් - ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් සිරියා (ඉරාකයේ සහ සිරියොවේ ඉස්ලාමික රාජ්‍යය), යන වදන්හි මුල් අකුරින් අයිඑස්අයිඑස් යන කෙටි නම තැනේ.


SL-Fraud-Government-and-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-O02


උලෙමා සංවිධානයේ ප්‍රධානියා මෙම ත්‍රස්ත කණ්ඩායමේ ක්‍රියා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනපතිවරයා වෙත ලබාදුන් අතර, එය ඔහු ආරක්ෂක ලේකම්වරයා වෙත භාරදුන්නේය. කතාවේ අවසානයත් එය විය. එතැනින් අනතුරුව එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනිණ.

“මට දුරකතන ඇමතුමක් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමාව ඉල්ලා සිටියා. මම මේ ගැන දැනගත්තේ සිංගප්පූරුවේ සිටි අනෙක් අයගෙන්” ජනපතිවරයා අනාවරණය කළේ ය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය ගැටලුකාරී සහ අවදානාත්මක තත්ත්වයක් නිර්මාණයව තිබෙන බව මෙම තීරුවෙන් අනාවරණය කළේ මෙම වසරේ ජනවාරි මාසය තරම් ඈතකදීය. එදා තීරුවේ සදහන් වූයේ මෙවැන්නකි.

මෙවන් තර්ජනයක් රටේ පැනනැගී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට සහ සමස්ත ආරක්ෂක ව්‍යුහයම තනි පුද්ගලයකුගේ අතට - ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ අතට, පත්කර තිබෙන අවස්ථාවකය.

රණවිරුවන් යනු පදක්කම් දිනාගත් පුද්ගලයින් මිස අනෙක් අය නොවන බව ප්‍රසිද්ධියේම කියා සිටීමෙන් ඔහු මහා ආන්දෝලනයක් නිර්මානය කර තිබේ. ඔහුගේ මෙම අදහස් හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද පසුවන්නේ නොපහන් සිතකිනි.

පදක්කමකින් පිදුම් ලැබීමකින් තොරව රට වෙනුවෙන් දිවි දුන් හමුදා සාමාජිකයන් දහස් ගණනකි. දශක තුනක යුද්දයට සිය දිවිය කැපකොට අත්පා අහිමි කරගත් හමුදා භටයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ව, ආරක්ෂක ලේකම්වරයා ඔහුගේ ප්‍රකාශයෙන් හෑල්ලුවට ලක්කරයි. සේනාධිනායකයා වන ජනපති මෛත්‍රීපාල සිරිසේනට මේ අරබයා නිවැරදි පියවර ගත හැකිය...

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නොදැනුවත්භාවය දිගින් දිගටම නිරාවරණයව තිබෙන්නේ ඉහත පරිදිය.

පසුගිය සතියේ බීබීසී පුවත් සේවය හා අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හෝටල සදහා ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් නොවන බවයි. එය හෝටල හිමියන්ගේ වගකීමක් බවත්, ඔවුන් එය බලාගත යුතුව තිබෙන බවත් ඔහු පැවසුවේය. රටේ ආරක්ෂක ලේකම්වරයා කරන මෙවැනි ප්‍රකාශයක් විදෙස් රටවල සහ එම රටවල සිට මෙරටට පැමිණීමට සිටින සංචාරකයින් අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුමන නම් ප්‍රතිරූපයක් ගොඩනගනු ඇති ද?

පසුගිය ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ දක්වා ගෙවී ඇති කාලයේ සංචාරක ක්ෂේත්‍රයට සිදුව තිබෙන පාඩුව ඩොලර් කෝටි 150ක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනටමත් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට හෝ රජයට අත්ව තිබෙන කිසිදු යහපතක් නැත.

පසුගිය සිකුරාදා අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු සහ සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් මහතාට ආරක්‍ෂක ලේකම්තනතුර භාරගන්නා ලෙස ආරාධනාවක් කැරුණ ද, ඔහු එය ආචාරශීලීව ප්‍රතික්ෂේප කළේය. ඊට පෙර හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතාගේ නම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරීමට සදහන් වුවත්, ඔහුව එම තනතුර සදහා පිළිගෙන නැත.

මේ සියල්ල පසුපස තිබෙන තිත්ත ඇත්ත මෙයයි. එය නම් රටේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික බුද්ධි සේවයට ඔවුන්ට ලැබුණු තොරතුරු අරබයා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට නොහැකිව ගොස් තිබීමය. එවැන්නක් සිදුවූයේ ඉදිරියේ එන ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දියා බුද්ධි වරක් නොව තෙවරක්ම අනතුරු ඇගවීම් සිදුකර තිබූ වාතාවරණයකය.

ඉහළ වෘත්තිමය හැකියාවකින් හෙබි හමුදා බුද්ධි අධ්‍යක්ෂ අංශය (ඩීඑම්අයි) එය පැවැති තැනින් පහළ දෙවැනි තැනකට පත්කිරීමට බලධරයින් කටයුතු කර තිබීම ද මෙම තත්ත්වයට තවත් ඌණ පූර්ණයක් සපයා ඇති කාරණයකි. 2009 වසරේ මැයි මාසයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමෙහි ලා මෙම අංශය ඉටුකළ මෙහෙය රහසක් නොවන අතර, නිධානයක් හා සම බුද්ධි තොරතුරු සම්භාරයක් ඔවුන් සන්තකයේ පවතී. ආරක්ෂක අංශයේ ආරංචි මාර්ගයකට අනුව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ආරක්ෂක කවුන්සිල රැස්වීම් කිහිපයකදීම, බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ඒකාබද්ධ කිරීම සදහා සියලුම ආරක්ෂක අංශ නියෝජනය වන ඒකාබද්ධ බුද්ධි ව්‍යුහයක් ඇතිකරගත යුතුවීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. කෙසේවුවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

මෙම එකාබද්ධ බුද්ධි ව්‍යුහය පිහිටුවීමට අවසානයේ අනුමැතිය හිමිවූයේ පසුගිය ඉරිදා අයිඑස් හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක් මෙරට දියත් කළ ප්‍රහාරවලින් පසුවය. අභිනවයෙන් පිහිටුවන ලද ඒකාබද්ධ මෙහෙයුම් අණදීම් (ජේඕඅයි) අංශය යටතේ එය ක්‍රියාත්මක වනු ඇත.


SL-Fraud-Government-and-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-O02

විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන බව සහතික කිරීම සදහා අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙහි එක් පාර්ශවයක් ලෙස එකතු කර ගැනෙනු ඇත. ආගමික ස්වරූපයෙන් පැමිණෙන මෙම අලුත්ම ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිටුදැකීම එහි ප්‍රධාන කාර්යභාරයයි. ජනවාර්ගික හෝ ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට ගැනෙන උත්සාහයන් වැළැක්වීම, ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන් මර්දනය කිරීම, මෙම අංශය පෙනී සිටින අරමුණුය. මහජන ආරක්ෂක ආඥා පණතේ (2 කොටස) හරහා මෙලෙස කටයුතු කිරීමට අවැසි නෛතික අවසරය අදාළ නිලධාරීන්ට ලබා දී තිබෙන අතර, අප්‍රේල් මස 22 වැනිදා සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා පියවර ගෙන තිබේ. පසුගිය බදාදා පැවැති පාර්ලිමෙන්තු සැසියේ දී ඊට ඒකමතික අනුමැතිය හිමිවිය.

බොහෝ දේශපාලඥයින් ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට පැමිණියේ එම රැස්වීම් අවසන් වූ පසුව බව වෙනත් ආරංචි මාර්ගයක් පැවසුවේය. “ගොඩක් වෙලාවට ඒ අය විනාඩි 10ක් විතර ඉඳගෙන ඉදලා, වෙන මොකක් හරි වැඩක් තියෙනවා කියලා යනවා” යයි එම ආරංචි මාර්ගය පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පසුගිය සතියේ පැවැති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී, නව ඒකාබද්ධ අණදෙන අංශයට, එම අංශයට අදාළ පරිදි කටයුතු කළ හැකිවන පරිදි වන රෙගුලාසි නීතිපති දෙපාර්තමේන්තුවෙන් සකස් කර දෙන බව (මහජන ආරක්ෂණ ආඥා පණතේ 2 කොටස යටතේ) සහතික කරන ලෙසට ජනපති සිරිසේන මහතා, අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියට උපදෙස් දුන්නේ ය. ජාතික තවුහීඞ් ජමාත් (එන්ටීජේ) සහ එහි සහායක කණ්ඩායමක් වන ජමායිතුල් මිලාතු ඊබ්‍රහිම් (ජේඑම්අයි) යන සංවිධාන තහනම් කිරීමද එයට ඇතුළත් වනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් දියත් කළේ මෙම කණ්ඩායම් ද්විත්වයයි. අයිඑස් සංවිධානයට සහාය දක්වන ජේඑම්අයි කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කිරීමේ දී දෙපිළ බෙදී සිට ඇති බවත්, ප්‍රහාරය සදහා හවුල් වී තිබෙන්නේ එම එක් පාර්ශයක් පමණක් බවත්, හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බි්‍රගේඩියර් චූලා කොඩිතුවක්කු මහතා ජනපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේය.

 

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුගේ තිප්පොළේ සිට


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ප්‍රධාන සැකකරු සහ්රාන් හසීම් ය. සහ්රාන් හසීම් ට සොහොයුරියන් දෙදෙනකි. සොහොයුරන් දෙදෙනකි. පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට, සහ්රාන්ගේ මාපියන්, සොයුරන් දෙදෙනා සහ එක් සොහොයුරියක අතුරුදන්ව ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කළේ සහ්රාන්ගේ ඉතිරි සොහොයුරියයි. මොහොමද් හසීම් මදානියා නමැති 25 හැවිරිදි ඇය ‘ඬේලි මිරර්’ පුවත්පතට අදහස් දැක්වූයේ මෙලෙසයි.


About-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-O01

‘මම අම්මයි තාත්තටයි මගේ සොහොයුරියගේ පවුලේ අයටත් කෑම අරන් ගියා පසුගිය අප්‍රේල් 18 වැනිදා. ඒත් ඊට පස්සේ ඔවුන්ගෙන් කිසිම තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ.’ යැයි මොහොමද් හසීම් මදානියා අදහස් දක්වා සිටියේ කාන්තන්කුඩි නගරයේ ‘ජාතික තව්හීද් ජමාත්’ පල්ලිය අසල පිහිටි සිය නිවසේ සිටය. දක්ෂ කථිකයකු සහ ආදරබර සොහොයුරෙකු වූ තම සොහොයුරු සහ්රාන් හසීම් මූලධර්මවාදී සහ අන්තවාදී මාවතකට යොමු වී තමන් ඔහුගෙන් ඈත් වුණු ආකාරයත්, ‘ජාතික තව්හීද් ජමාත්’ පල්ලිය සහ්රාන් හසීම්ගෙන් ඈත් වුණ ආකාරයත් ඬේලි මිරර් පුවත්පතට මෙසේ අනාවරණය විය.

හසීම් පවුලේ දරුවන් ගණන පහකි. 33 හැවිරිදි සහ්රාන් හසීම් වැඩිමලා ය. ඔහු විවාහ වී සිටින්නේ මොහොමද් හාදියා සමඟය. ඇගේ වයස අවුරුදු 23 කි. මැය කුරුණෑගල කැකුණුවෙල පදිංචිකාරියකි. මොවුන්ට අවුරුදු 8 ක් වයසැති පුතෙක් සහ අවුරුදු 4 ක් වයසැති දියණියක් සිටිති. සහරාන් හසීම්ගේ එක් සොහොයුරකු වන්නේ මොහොමද් සෙයින් හසීම්ය. 30 හැවිරිදි මොහු විවාහ වී සිටින්නේ 23 හැවිරිදි අබ්දුල් ගෆූර් අෆ්රින් සමඟය. මොවුන්ට අවුරුදු පහක පුතෙක් සහ අවුරුදු 3 ක දියණියකි. අනෙක් සොහොයුරා 28 හැවිරිදි මොහොමද් රිල්වාන් හසීම්ය. විවාහ වී සිටින්නේ, 20 හැවිරිදි නෆ්හා සමඟය. මොවුහු අවුරුදු පහක් වයසැති සහ මාස 6 ක දරු දෙදෙනෙක් මොවුන්ට සිටිති.

ඉතිරි සොහොයුරිය මොහොමද් යසීරා හසීම් ය. ඇයගේ වයස අවුරුදු 20 කි. විවාහ වී සිටින්නේ 22 හැවිරිදි මොහොමද් රිෂාද් නමැත්තා සමඟය. මොවුන්ට වසරක් වයසැති පිරිමි දරුවෙක් සිටී. මේ සියල්ලන්ම කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදන්ය. ‘මම දන්නේ නැහැ ඔවුන් කොහෙද කියලා. 18 වැනිදායින් පස්සේ, ඔවුන්ගෙන් කිසිම ආරංචියක් නැහැ.’ ඇය අප සමඟ අදහස් දක්වමින් කියා සිටියාය. සහ්රාන් හසීම්, ඔහුගේ සොහොයුරන් දෙදෙනාත්, සොහොයුරියත්, මොවුන්ගේ මාපියන් වන හයාත් මොහොමද් හසීම් (55) සහ අබ්දුල් කාදර් සමීමා (50) ද අතුරුදන්ය.


About-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-O02

‘2017 වසරේ මුලදී තමයි එයා (සහරාන් හසීම්) අන්තවාදී අදහස් සම්බන්ධයෙන් දේශනා පැවැත්වීම ආරම්භ කළේ. ලෝකය මුස්ලිම්වරුන් සඳහා පමණක් බවත් කියමින් අනෙක් ආගම්වලට ඉඩක් නැති බවත්, ඒවාට එරෙහි විය යුතු බවත් එයා දේශනා පැවැත්තුවා’ යැයි මොහොමද් හසීම් මදානියා පැහැදිලි කරයි. ‘මගේ සොහොයුරාගේ දේශනා මගේ සැමියාට රුස්සන්න වූයේ නැහැ. ඒ නිසාම, ඔහු සහ අපේ සම්බන්ධය නවත්වන්න මගේ සැමියා තීරණය කළා. ඒ තරහට නොවෙයි, අපි ඔහුගේ අදහස්වලට විරුද්ධ වූණ නිසා අප ඒක අනුමත කළේ නැහැ. එපමණයි.’ යැයි තෙදරු මවක වන මොහොමද් හසීම් මදානියා වැඩිදුරටත් පවසා ඇත.

2017 මාර්තු 10 වැනිදා, සහ්රාන් හසීම්ගේ නව නිකායට සහ පල්ලියට සම්බන්ධ අනුගාමිකයන් සහ මධ්‍යස් ථමතධාරී සූෆි මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුමක් නිර්මාණය විය. එම ගැටුම අවසන් වූයේ සහ්රාන් හසීම්ගේ ‘අතුරුදන්’ වීමත් සමඟය. ‘ගැටුමින් පස්සේ අපට ඔහුගෙන් ආරංචියක් ලැබුණේ නැහැ. සහ්රාන් විතරක් නොවේ, සොහොයුරු රිල්වාන් ගැනත් ආරංචියක් නැහැ. අප අතරේ පැවැති සම්බන්ධය බිඳ වැටුණා.’ යැයි ‘ජාතික තව්හීද් ජමාත්’ වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරන මවුලාවි තවුෆීක් (33) අදහස් දක්වමින් පවසා ඇත.

සහ්රාන් හසීම්, සිය නිකාය පිහිටුවා ගනිමින්, අනුගාමිකයන් ද පිරිවරාගෙන ජාතික තව්හීද් ජමාත් කණ්ඩායම ආරම්භ කළේ 2011 දී පමණ යැයි පැවැසෙයි. ඒ, කාන්තන්කුඩි නගරයේය. කාත්තන්කුඩි මුස්ලිම් බහුතරයක් වෙසෙන කුඩා භූමි ප්‍රදේශයකි. මෙහි මුස්ලිම් පල්ලි 63 කි. එයින් මුස්ලිම් පල්ලි 8 ක්, එම පල්ලි හරහා විවෘතව මූලධර්මවාදී අදහස් පිළිපඳින බවත්, තවත් පල්ලි 3 ක් එකිනෙකට වෙනස් වහාබි දර්ශනය ප්‍රචලිත කරන බවත් බද්රියා මුස්ලිම් පල්ලියේ එච්.එම්. අමීර් පෙන්වා දෙයි. ජමියාතුල් උලමා සංවිධානය ද වහාබි දර්ශනය ප්‍රචලිත කිරීමෙහිලා සහාය දක්වන මුස්ලිම් සංවිධානයකි.

මත ගැටුම් හේතුවෙන්, සූෆි දර්ශනය අනුගමනය කරන, බද්රියා පල්ලියේ අනුගාමිකයන් සහ සහරාන් හසීම් නිකාගේ අනුගාමිකයන් අතරේ ගැටුමක් නිර්මාණය විය. මෙය අවි ගැටුමක් තෙක් දුරදිග ගියේය. ඒ, 2017 වසරේ මාර්තු 10 වැනිදාය. අවි ගැටුම හටගත් අවස්ථාවේදී, විශේෂ හමුවක් පැවැත්වීමටත් එහිදී සහ්රාන් විශේෂ කතාවක් පැවැත්වීමටත් සූදානම් විය. කෙසේ නමුත් එම අවස්ථාවේ ඇත්තටම සිදුවූයේ කුමක්දැයි නිවැරදි තොරතුරක් නැත.

සහරාන්ගේ ‘ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයන් නව දෙනකු සහ බද්රියා පල්ලියේ දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් පිරිස අතර සහ්රාන්ගේ සොහොයුරා සෙයින් ද සිටියේය. සැකකරුවන් මාස 7 ක් පුරාවට රිමාන්ඞ් භාරයේ රඳවා තැබුණු බව අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වන මොහොමද් රිෆාස් (32) පවසා ඇත. පල්ලිය මහල් දෙකකින් සමන්විත අතර, දෙවැනි මහල තවමත් ඉදිකර අවසන් නැත. එම පල්ලියේ සිට අදහස් දක්වමින්, රිෆාස් කියා සිටියේ, සහ්රාන් ‘අතුරුදන් වූයේ’ පොලිසිය ඔහු සොයා පැමිණි අවස්ථාවේදී කියාය.

‘2017 ජූනි මාසයේ ඔහු ෆේස්බුක් හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරන තුරු ඔහු ඉන්නේ කොහෙද, කරන්නේ මොකක්ද අප දැන සිටියේ නැහැ.’ යැයි ජාතික තව්හීද් ජමාත් සාමාජිකයන් ඬේලි මිරර් පුවත්පත සමඟ අදහස් දක්වමින් පවසා තිබේ. ‘ඔහුගේ එම වීඩියෝ ප්‍රකාශ දැක්කට පස්සේ, අපි මුළුමනින්ම ඔහු සමඟ සම්බන්ධකම් අත්හැර දැම්මා.’ යැයි ජාතික තව්හීද් ජමාත් සාමාජිකයන් කියා සිටියේ, සහ්රාන් හසීම් පල්ලියෙන් නෙරපා දැමීමට ඔවුන්ගේ පල්ලිය පියවර ගත් බව දැක්වෙන ලිපියක් ද පෙන්වමිනි.

සහ්රාන් හසීම්ගේ පල්ලිය කුඩා එකක් බවටත් අප එය නොසලකා හැරිය බවටත් පළ වන වාර්තා අසත්‍යයක් යැයි බද්රියා පල්ලියේ අමීන් පැහැදිලි කරයි. සති 6 කට කලින්, සහ්රාන් ඔහුගේ පල්ලියට පැමිණි බව ද අමීන් වැඩිදුරටත් කියා සිටී. සහරාන් සහ ඔහුගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් විස්තර ඇතුළත් ලිපිගොනු ආරක්ෂක ලේකම්, පොලිස්පති, නීතිපති යන අයට ලබා දී තිබෙන බවත් කිසිවකු ඒ ගැන අවදානයක් යොමු නොකළ බවත් මොහොමද් ජසීම් වැඩිදුරටත් කියා සිටී.

ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ පල්ලියේ සාමාජිකයන් පෙන්වා දෙන අන්දමට, නව නිකායක් පිහිටුවා ගැනීමටත් පල්ලියක් ඉදිකිරීමටත් සහරාන්ට තනිවම හැකියාව ලැබී තිබේ. පල්ලිය ඉදිකිරීමට ආධාර ලැබී ඇත්තේ ජුම්මා යාච්ඤා සඳහා පැමිණි, බැතිමතුන්ගෙනි. ‘ඔවුන් නව පල්ලියක් ඉදිකළේ විදෙස් ආධාර ඇතිවයි. ඔවුන්ට අනෙක් මූලධර්මවාදීන් සමඟ සම්බන්ධ වී සිටින්න බැරිවුණා. ඒ, අරමුදල් නොලැබුණු නිසා.’ යැයි ජමීම් අපට විස්තර කළේය.

2017 මාර්තු 20 වැනිදා, පොලිසියෙන් බේරී පලා යනතුරු, සහ්රාන් සාමය වෙනුවෙන් කැපවූ ආගමික දේශකවරයකු වූ බව ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයෝ අවධාරණය කළහ. ‘අපි හුඟක් සමාජ සේවා වැඩ කළා. අප ඉස්ලාම් දහම අදහන්නේ එහි සඳහන් සැබෑ ආකාරයටයි.’ යැයි ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයෝ වැඩිදුරටත් කියා සිටිති.

කෙසේ නමුත් සොහොයුරිය මොහොමද් හසීම් මදානියා පෙන්වා දෙන්නේ, සහ්රාන් ඊට පෙර සිටම අන්තවාදී අදහස් දේශනා කරන්න වූ බවය. ‘ඔහු රජය විවේචනය කරන්න වුණා. අධිකරණය විවේචනය කරන්න වුණා. අනෙක් ආගම්වලට එරෙහිව අදහස් දක්වන්න වුණා. මාර්තු මාසයේ ගැටුම සිදුවෙද්දී, ඔහු මෙවැනි අන්තවාදී අදහස් ඇතුළත් දේශන දෙකක් හෝ තුනක් පවත්වා තිබුණා.’ ඇය වැඩිදුරටත් කියා සිටියාය.

2012 සිට 2017 තෙක් වසර පහක කාලය පුරාවට, සහ්රාන් විටින් විට ඔහුගේ අන්තවාදී අදහස් ඇතුළත් ප්‍රසිද්ධ දේශනා ස්ථාන කිහිපයකදී පවත්වා ඇත. දක්ෂ කථිකයකු හා දේශකයකු වූ ඔහුට අනුගාමිකයන් ඇද ගැනීමේ ශක්තිය තිබුණා. ඔහුගේ පල්ලියට නොගියත්, ප්‍රසිද්ධියේ පැවැත්වූ එම දේශනාවලට 2,000 ක් හෝ 3,000 ක් ඇදී ආ බව පැවැසෙයි.

‘මට සෙයින් සහ ඔහුගේ පවුලේ අය අන්තිමට මුණ ගැසුණේ පසුගිය පෙබරවාරියේ.’ යැයි මදානියා ඬේලි මිරර් පුවත්පතට විස්තර කරයි. 2019 මාර්තු 20 වැනිදා පැවැති ගැටුමින් පසු සහරාන් සමඟ පලා ගිය අනෙක් සොයුරා රිල්වාන් සමඟ ද තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව මදානියා වැඩිදුරටත් කියා සිටී. මරාගෙන මැරෙන බෝම්බකරුවන් කවුරුන්දැයි නිවැරදිව හඳුනා ගැනීමට උත්සාහ ගන්නා බුද්ධි අංශ අනුමාන කරන්නේ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර සහරාන් නොසිටි බවත්, සහ්රාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිදැල්ලේ පසුවන බවත්ය.


About-Terrorist-SriLanka-Lankadeepa-photo-LKD-01.05.2019-O03

‘මට මගේ ජීවිතය ගැන බියක් දැනෙනවා. අපි ඉන්නේ ලොකු බයකින්. සිදුවුණේ මහ අපරාධයක්. ඔහු සමඟ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔහු මියගිහින් නම් ඒක සැනසිල්ලක්.’ යැයි මදානියා ඬේලිමිරර් පුවත්පතට අදහස් දක්වමින් කියා සිටියේය. තම පවුලේ සාමාජිකයන් හදිසියේ, කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන්වීම සම්බන්ධයෙන් තමාගේ අදහස කුමක්දැයි අප මදානියාගෙන් විමසූ අවස්ථාවේදී ඇය මෙසේ පැවැසුවාය. ‘ඔවුන් ඔහුට එක් වන්න ඇති. ඔවුන් කවුරුවත් ඒ ගැන මා එක්ක කතා කළේ නැහැ. ඔවුන් හැමෝම දන්නවා මගේ සැමියා ඔහුට අකමැති බව. දැන් ඔහු වෙනුවෙන් මට බැණුම් අහන්න වෙනවා. ඔවුන් කිසිම කෙනෙක් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ.’

‘මේ කිසිවක් ආගමට සම්බන්ධ නැහැ. සිදුවුණු සියල්ල පිළිකුලෙන් හෙළා දකිනවා’ යැයි මවුලවි තවුෆීක් පැහැදිලි කළේ ‘එක් පුද්ගලයකු ඝාතනය කිරීම මනුෂ්‍යත්වය ඝාතනය කිරීමක්’ යන කුරාන පැදියක් ද උපුටා දක්වමිනි. සහරාන්ගෙන් පසු ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මවුලවි තවුෆීක් කටයුතු කරන්නේ 2002 දීය. ‘මම ඔහුව දන්නේ ඉස්ලාම් දහම ඉගෙන ගන්නා කාලයේ පටන්. ඒත් අල් ෆාලා අරාබි විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළේ නැහැ. 2007 දී ඔහුට පිටවී යන්න සිද්ධ වුණා. තවුෆීක් සහ පල්ලියේ සෙසු සාමාජිකයන්, පවසන්නේ තවමන් කිසිවකු, සහරාන්ගේ අන්තවාදී දේශනා ඇතුළත් වීඩියෝ නරඹා නැති බවය. ‘ඔව්, ඔහු අයි.එස්.අයි.එස්. හිතවාදියෙක්. අපට එය දැනගන්න ලැබුණේ අනෙක් අයගෙන්.

සහරාන්ගේ නිකායට සම්බන්ධ අනුගාමිකයන් සිටියේදැයි විමසූ අවස්ථාවේදී, මවුලවි තවුෆීක් සහ ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය. ‘අයි.එස්. සාමාජිකයෙක් කියලා කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒක හදවතේ තියෙන දෙයක්.’ යැයි මවුලවි තවුෆීක් වැඩිදුරටත් කියා සිටියේය. මාස 10 ක පුතු ද ඇකයේ රඳවාගෙන, මදානියා දිගින් දිගටම කියා සිටින්නේ ඇය ඇය ගැනත්, සැමියා සහ දරුවා ගැනත් බියෙන් පසුවන බවය. ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයන් පමණක් නොව, බද්රියා පල්ලියේ අමීර් සහ ජසීම් ද පවසා ඇත්තේ ඔවුන් ද ඔවුන්ගේ ජීවිත ගැන බියකින් පසුවන බවය. ‘මේ මූලධර්මවාදීන්ට එරෙහිව නැගී සිටියේ අප ඔවුන්ට විරුද්ධ වුණේ දැන් අප ඉන්නේ අපේ ජීවිත ගැන බියෙන්’ යැයි ඔවුහු පැවැසූහ.

ඬේලි මිරර් ඇසුරිනි

 

කතෘ මණ්ඩලය
2019 මැයි මස 02 / පෙ.ව. 09:28

විනාශයේ උපත අනාගතය

Photo-??
Now-and-Future-Dangerouse-situation-in-SL-Lankadeepa-01.05.2019-P01


පසුගිය පාස්කු ඉරිදා විශාල මිනිස් ඝාතනයක් සමගින් සිදු වූ විනාශය ඉස්ලාමීය අන්තවාදීන්ට පමණක් බාර දිය හැකි ම්ලේච්ඡත්වයක්ද? එයට කෙටි හා සරළ උත්තරය “ඔව්” යන්නය. එලෙස “ඔව්” යැයි පැවසෙන්නේ ඉස්ලාමීය මූලධර්මවාදය විසින් බිහි කරන ලද්දා වූ සංවිධාන අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාර ලෙස ජාලගත වන බවත් ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ඉස්ලාම් රාජ්‍යයක් හැදීම යැයි පවතින පොදු අදහස වන නිසාත්ය. එහෙත් ඒ සියල්ලෙහි තවත් ජාතික හා ජාත්‍යන්තර සාධක ගැබ්ව ඇත.

මෙරට ඉස්ලාමීය මූලධර්මවාදයෙහි අන්තවාදී සන්නද්ධ ගොනුවීම්වල කලලය මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව ඇති තොරතුරුවලට අනුව ඇත්තේ නැගෙනහිරය. එය පැළපදියම් වන්නේ මූලධර්මවාදී අන්තවාදයේම හයිය ඇතිව නොවේ. ඒවා ඇත්තටම දකුණේ සිංහල බෞද්ධ දේශපාලනයෙහි තරගකාරිත්වය සමගින්ද හයිය ලැබූවකි. යුද්ධය නිමාවීමෙන් පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් පාරට ගෙනෙනු ලැබූ සිංහල බෞද්ධ අන්තවාදය එයට එක් වැදගත් හේතුවකි. සිංහල බෞද්ධ ආධිපත්‍ය සමග අධිකාරවාදී පාලනයක් දිගටම පවත්වා ුගෙන යෑමට දෙමළ බෙදුම්වාදය, දෙමළ ත්‍රස්තවාදය තවදුරටත් යොදාගත නොහැකිවීම නිසා ඒ වෙනුවට සිංහල බෞද්ධ සමාජයට තර්ජනයක් ලෙස පහසුවෙන් පෙන්විය හැකි වූයේ මුස්ලිම් අන්තවාදය විය. මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍ය අධිකාරවාදයට ඉස්ලාම් මූලධර්මවාදයෙහි උපයෝගිතාව තිබූයේ ඒ වෙනුවෙනි.

ඉස්ලාම් මූලධර්මවාදය දේශපාලන අවශ්‍යතාවන් සඳහා පළමු වරට යොදා ගනු ලැබූයේ ඇමෙරිකානු රාජ්‍ය විසින්ය. ඇෆ්ගනිස්තානයේ රුසියානු ආධිපත්‍යයට එරෙහිව 80 දසකය අවසානයේදී ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානය සහ සවුදි අරාබි රාජ්‍යයේ පොදු බුද්ධි අංශ අධිකාරය (General Intelligence Directorate) පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශ ආයතනය Inter Service Intelligence Agency) හරහා ඇෆ්ගනිස්තාන මුජහිදීන්වරුන්ට මුදල් හා ආයුධ සැපයූ බවට දැන් වාර්තා ඇත. ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සංවිධාන කිහිපය ඒ අනුව තහවුරු කෙරුණකි. වර්තමානයේ ඉතාම ම්ලේච්ඡ ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම ලෙස හැඳින්වෙන “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදය බිහි වන්නේද ඇමෙරිකානු මුග්ධභාවය සමගය. එක්සත් ජාතීන්ද රවටා බුෂ් පාලනය විසින් ඉරාකය ආක්‍රමණය කිරීම එහි ආරම්භය විය.

ඉරාකය අල්ලා ගැනීමේ ඇමෙරිකානු කුමන්ත්‍රණයෙහි එක් උපක්‍රමශීලි මැදිහත්වීමක් වූයේ සදාම් හුසේන් විරෝධී ඉස්ලාමීය කණ්ඩායම් ශක්තිමත් කිරීමය. ඉරාකයට ගොඩ වූ ඇමෙරිකානු විමුක්ති හමුදා බලහත්කාර විනාශකාරී ආක්‍රමණික හමුදාවක් බැව් ඔප්පු වන්නට සතියක් වත් ගත නොවුණි. සදාම් හුසේන්ගෙන් ගැලවීමට ඇමෙරිකානු ආධාර ලබාගත් මුජහිදීන් කණ්ඩායම් එතැන් සිට ඇමෙරිකානු හමුදාවට එරෙහි විය. ඒ සමග ඇමෙරිකානු හමුදා ඉතා මෘග ජන ප්‍රහාර ආරම්භ කළහ. ෆලුජාහ් හි 2003 අප්‍රේල් මාසයේ ඇමෙරිකානු හමුදා දියත් කළ ජන සංහාරය ඒ ප්‍රදේශය පසුව “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශයක් බවට පත් කළේය. “අයි.එස්.අයි.එස්” ත්‍රස්ත සංවිධානය හා “අල්-ඛයිඩා” සංවිධානය බිහිවීම ඇමෙරිකානු ඉරාක ආක්‍රමණයෙහි ඍජු ප්‍රතිඵලයකි.

කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් දේශපාලන හේතු නොමැතිව සහ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව ආරම්භ වී නැත. තලෙබාන්, “අයි.එස්.අයි.එස්” සහ “අල්-ඛයිඩා” පමණක් නොව එල්.ටී.ටී.ඊ සංවිධානයද ආරම්භයේදී රාජ්‍ය ආධාර සමගින් වැඩුණු සංවිධානයෝය. ත්‍රස්තවාදී කණ්ඩායම් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් අර්ථකතනය කර ගන්නේ අනෙකුන්ට අවශ්‍ය ආකාරයට නොව, ඔවුන් ආමන්ත්‍රණය කරන ජන සමාජයට ගැලපෙන ආකාරයටය. “අයි.එස්.අයි.එස්” ත්‍රස්ත සංවිධානය පීඩනයට හා මර්දනයට හසුවූ ඉරාක මුස්ලිම් ජනතාව ඇමතූයේ ඇමෙරිකානු හමුදා ඉස්ලාමීය සංස්කෘතිය විනාශ කරන්නා වූ ක්‍රිස්තියානි ආක්‍රමණිකයින් යැයි අර්ථ ගැන්වීමෙනි. එයට ඉතා වැදගත් ඓතිහාසික සාධකයක් වූයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ලොව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් වීමත් අතීතයේ සිට ඔවුන් ක්‍රිස්තියානි රාජ්‍ය හා යුධ වැදීමත්ය. ඒ අනුව “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදය පෙනී සිටින්නේ ක්‍රිස්තියානි විනාශකාරිත්වයෙන් ලෝකය බේරා ගැනීමේ ශුද්ධ වූ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමටය. දෙමළ විමුක්ති කොටි සංවිධානයද දෙමළ සමාජය ඇමතූයේ සිංහල බෞද්ධ දේශපාලනය දෙමළ ජනතාවට කිසිදු ආකාරයක සාධාරණ සමානාත්මතා පැවැත්මක් සඳහා ඉඩනොදෙන හෙයින් වෙනම ඊළාම් රාජ්‍යයක් දිනා ගැනීමට ය. දෙමළ සන්නද්ධ කණ්ඩායම් සඳහා ආරම්භයේදී ආධාර කරනු ලැබූයේ ඉන්දිරා ගාන්ධි සමයේ ඉන්දීය රජය විසිනි.

පාස්කු ඉරිදා ඛේදවාචකය දෙස අප බැලිය යුත්තේ එවැනි සංකීර්ණ පසුබිමක් එයට ඇති බැව් තේරුම් ගනිමින්ය. පාස්කු ඉරිදා ඛේදවාචකයට මූලික වශයෙන් වගකිව යුතු ඉස්ලාමීය අන්තවාදී සංවිධානය ලෙස නම් කෙරුණු “ජාතික තවුහීඞ් ජමාත්” සංවිධානයෙහි ආරම්භය ඇත්තේ නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ය. හැමවිටම මූලධර්මවාදී අන්තවාදය සමාජයෙහි තහවුරු වන්නේ ජනප්‍රිය මතවාදයක් ලෙස නොව, බලහත්කාරය සමගය. එනිසා එහි පැවැත්ම ඇත්තේ බහුතර සාම්ප්‍රදායික මතවාදය බලහත්කාරයෙන් යටපත් කිරීමෙනි. එය ඕනෑම සමාජයක ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත් වන්නකි. ඒ ගැටුම නිරාකරණය කිරීමේ ආණ්ඩු පක්ෂ දේශපාලනය හා ඒ වෙනුවෙන් රාජ්‍ය මැදිහත් කිරීමේ තීන්දු කවරේ දැයි සහ රාජ්‍ය මතවාදයට ඒවා කෙසේ ගැලපෙන්නේ දැයි යන්න අතිශය තීරණාත්මක සාධක ය. එහිදී අපේ වැනි රටවල ආණ්ඩුවේ මතවාදය හා රාජ්‍ය මතවාදය හැමවිට එකක්ම වන්නේ නැති බැව්ද තේරුම්ගත යුත්තකි.

එවැනි ගැටුම් මැද නැගෙනහිර තවුහීඞ් ජමාත් ප්‍රධානීන්ට විරුද්ධව නැගෙනහිර සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව හා ඔවුන්ගේ සංවිධාන නැගී සිටිය බව හා ඔවුන්ට විරුද්ධව ආරම්භයේදීම පොලිසියට පැමිණිලි කළ බැව් දැන් වාර්තා වන්නේය. ඔවුන්ට විරුද්ධ වූ ඇතැම් ආගමික නායකයන්ට ශාරීරිකව පහර දුන් අවස්ථා ද එක් අයෙකු වරක් පැහැර ගෙන ගොස් දින කිහිපයක් වධ දුන්නේ යැයිද වාර්තා වේ. එවැනි සියලු තොරතුරු එකල රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළම තනතුරු දැරූවන්ට ලිඛිතව දැනුම් දුන්නේ යැයි “සමස්ත ලංකා ජමයිතුල් උලමා” සංවිධානය පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණේ ඒ වෙනුවෙන් කිසිදු වැදගත් පියවරක් එදා ආණ්ඩුව නොගත්තේ යැයි නෝක්කාඩුවක්ද සමගින්ය. සමාජ මාධ්‍ය ජාලයන්හි සාක්ෂි නොමැතිව තවුහීඞ් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට එකල ආරක්ෂක අමාත්‍යාංශයේ අරමුදල් මගින් වැටුප් ගෙවී යැයි කෙරුණු චෝදනා සඳහා යම් වටිනාකමක් දෙමින් රාජිත සේනාරත්න ඇමැති විසින් ද එම කාරණා අවධාරණය කර තිබිණ. කතාවේ එක් ආරම්භයක් ඇත්තේ එතැනය.

එවගේම මේ ආණ්ඩුවේ සිව් අවුරුදු කාල පරිච්ඡේදය ද අසාර්ථක කාල පරිච්ඡේදයකි. ඒ කාලය පිළිබඳව දැන් ප්‍රසිද්ධ කෙරෙන තොරතුරු අනුව හා කොළඹ තුර්කි තානාපති කාර්යාලයට අනුව අන්කාරා නුවර හරහා සිරියාවට ගොස් පුහුණු වී පැමිණි 70 ක පමණ පිරිසක් මෙහි සිටිය යුතුය. ආගමන විගමන දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණයක් සමග යම් බුද්ධි අංශ විපරමක් තිබුණේ නම් තුර්කියට යන එන පිරිස් පිළිබඳ විස්තර එකතු කර විශ්ලේෂණය කර ගැනීමේ අපහසුවක් නොවුණි. එහෙත් එවැන්නක් සිදු වූ බව පෙනෙන්නට නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපයේ බුද්ධි අංශ රැස් කළ තොරතුරු මත පියවර ගත් බවක් ද දැකිය නොහැක. මේ වනවිට හමුදා අංශ දියත් කර ඇති විශේෂ මෙහෙයුම් මගින් කියැවෙන්නේද ක්‍රියාත්මක නොවුනත් ඔවුන් විශාල තොරතුරු ප්‍රමාණයක් රැස්කර තිබූ බවය. මහා විනාශයෙන් පසු දේශපාලනිකව ඉතිරිව ඇත්තේ ආණ්ඩු පාර්ශවයන් එකිනෙකාට දොස් පවරා ගනිමින් සමාජය නැවත නැවත සැකයෙන් බියෙන් වෙලා තැබීමේ ප්‍රකාශ නිකුත් කිරීම ය.

ඒවා පසුපස වෙනත් දේශපාලනයක්ද ඇත. එ.ජා.ප. ආණ්ඩුව පත්කර ගනු ලැබූයේත් නැවත රාජපක්ෂ බලයක් සඳහා ඉඩක් නොතබන්නට තීන්දු ගනු ලබන්නේත් ඇමෙරිකානු භූ දේශපාලනික අවශ්‍යතා සමග පෑහෙන ආණ්ඩුවක් කොළඹ පවත්වා ගැනීමට මිස රාජපක්ෂ ඉවත් කිරීමේදී දෙනු ලැබූ පොරොන්දු වෙනුවෙන් නොවේ. එබැවින් වික්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුව වඩ වඩාත් චීන ආර්ථික ගනු දෙනු මතින් ඉවත්කර තැබීමත් ඇමෙරිකානු දේශපාලනයේ අතිශය වැදගත් අවශ්‍යතාවයකි. පසුගිය ඔක්තෝබර් රාජකීය මගඩියෙන් පසු ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව, ඇමෙරිකානු රාජ්‍ය ආධාරත් වික්‍රමසිංහ ආණ්ඩුවට සහතික කර ඇත. ඇතැම් මුදල් මේ වනවිට ලැබී ඇත. මේ ගනුදෙනුව වඩාත් හොඳින් දිස් වූයේ පසුගිය සිකුරාදා හා සෙනසුරාදා දෙදින චීනය ලෝකයට ඉදිරිපත් කරන ඔවුන්ගේ යෝධ ව්‍යාපෘතිය වන යුරෝපයත් අප්‍රිකාවත් ආසියාවේ ඔවුන්ගේ නැගෙනහිර වෙරළ හා යා කෙරෙන “මුහුදු හා ගොඩබිම් මාර්ග සැළසුම” (Belt & Road Initiative) පිළිබඳව බෙයිජිං නුවර පැවති රාජ්‍ය නායක සාකච්ඡාවට ඇමෙරිකාව, ඉන්දියාව හා තුර්කිය සමග ශ්‍රී ලංකාව සහභාගි නොවීමෙහිය.

පාස්කු ඉරිදා ප්‍රහාරද වික්‍රමසිංහ ආණ්ඩුව වඩ වඩාත් ඇමෙරිකානු ගැති දේශපාලනයකට තල්ලු කර ඇත. මේ වන විට ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා ඇමෙරිකානු විශේෂඥ සහාය ඔවුන්ගේ සුනඛයින් 50 ට වැඩි සංඛ්‍යාවක් සමග පැමිණ ඇත. බි්‍රතාන්‍ය සහාය ද ඊට එකතුව ඇත. මේවා වඩා දිගු කාලයක් පැවතීමට හැකි පසු බිමක්ද නිර්මාණය කෙරෙන්නේ ය. ඇමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මහත්මිය පසුගිය සඳුදා ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ඔවුන්ගේ තොරතුරුවලට අනුව ඉදිරි කාලයේ තවත් ත්‍රස්ත ප්‍රහාර ඇතිවිය හැකි බවය. එයටම ගැළපෙන ආකාරයට අගමැති කියා තිබුණේ විදේශ ත්‍රස්ත සංවිධාන හා ගනුදෙනු කර පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් මෙහි ක්‍රියාත්මකවන ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමටත් නීති නොමැති හෙයින් “ප්‍රති ත්‍රස්ත පනත” වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කළ යුතු බවය. ඇමෙරිකානු තානාපතිනිය පැවසූ ආකාරයට ඉදිරියේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවිය හැකි යැයිද එනිසා වහා ඊට ගැලපෙන නීති අවශ්‍ය යැයිද ඉන් ඇඟවෙන්නකි.

මේ දිනවල ඉතා ජනප්‍රිය ආගමික නායකයෙකු ලෙස වේගයෙන් ඉස්මතු වූ කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ඔහුගේ ජනප්‍රියත්වය වික්‍රමසිංහ ආණ්ඩුවට අවාසි සහගත ලෙස යොදා ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාර හරහා දිග හැරෙන තවත් දේශපාලනයකි. ආණ්ඩුව ඔහු වෙත බාර දුන් වෙඩි නොවදින වාහනය ඔහු ප්‍රතික්ෂේප කළේය. මෙතෙක් ගනු ලැබූ ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ඔහු සෑහීමකට පත් වන්නේ නැතැයිද ඔහු කීවේය. අගමැති වික්‍රමසිංහ ඉල්ලා සිටින ප්‍රති ත්‍රස්ත පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයිද ඒ වෙනුවට අවශ්‍ය නම් පවතින නීති සංශෝධනය කළ හැකි යැයිද ඔහු කීවේය. ඔහුගේ විවේචන හා මහින්ද රාජපක්ෂගේ විවේචන ඉතා ආසන්නයෙන් ගමන් යන්නේය.

ඒ සමග ආසන්න අනාගතයේ පැමිණිය හැකි මැතිවරණයක්ද ඇත. ඒ වෙනුවෙන් ගල් ගසන වුන්ද ඇත. මේ කිසිවකු “ජාතික ආරක්ෂාව” ලෙස අර්ථ ගන්වන්නේ ජනතාවගේ ආරක්ෂාව නොවේ. ඔවුන්ගේ අර්ථකතනවලට අනුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව පැත්තකට කර තැබිය යුතුය. අවසානයේ ජාතික ආරක්ෂාව ලෙස ඉතිරි වන්නේ මර්දන නීති සමගින් හමුදාමය ක්‍රියාකාරිත්වය සඳහා මේ සමාජය ලබා දෙන අවසරය හා අවකාශය පමණි. අප ගමන් ගන්නේ එතැනට මිස අන්තවාදී ත්‍රස්තවාදයට පිළිතුරු සෙවීමට නොවේ. අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය ඒ පමණට තනි නැත.

කුසල් පෙරේරා

 
 
 
 

This Page Under Construction Please Wait

Veuillez patienter Cette page est sous Construction